
ආපදාවන්ට ලක් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරමින් සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කළ බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඊයේ (01දා) මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් දියවඩන නිලමේවරයා පැවසුවේ මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කළ බවය.
පරිත්‍යාගශීලීන්ට මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ 003 – 2001-0010 2599 අංකය දරන ගිණුමට මුදල් බැර කරමින් තම දායකත්වය දැක්විය හැකි අතර විදෙස්ගතව සිටින පිරිසට ද SWIFT code – PSBKLKIX හරහා සිය මුදල් පරිත්‍යාග කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
‘මල්වතු අස්ගිරි උභය මහා විහාරයත් දළදා මාලිගාවත් එකතුවෙලා සමාජ සුබසාධන අරමුදලක් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරලා ගිණුමක් ආරම්භ කළා. මෙම ව්‍යවසනයට මුහුණ දුන් ජනතාවට කෙටිකාලීනව සහ දීර්ඝකාලීනව පිහිටවීම සඳහාත් නිවාස අහිමි වූ අය සඳහාත් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒ සඳහා මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කළා. 003 – 2001-0010 2599 ගිණුම් අංකයත් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා SWIFT code – PSBKLKIX කෝඩ් එක පාවිච්චි කරමින් අපි මේ අරමුදල ආරම්භ කරලා තියෙනවා.
අපි මේ අරමුදල ඇති කරලා තියෙන්නේ විනිවිදභාවයක් ඇතිව. ජාත්‍යන්තර විගණන සමාගමක විගණනයට මේ අරමුදල භාජනය කරන්න කටයුතු කර තියෙනවා. මෙහි විනිවිදභාවයත් අපි ස්ථිර කරලා තියෙන්නේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි මේ ප්‍රජා සත්කාරය සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා’ යැයිද දියවඩන නිලමේවරයා පැවසීය.




