
සපුගස්කන්ද ප්‍රදේශයේ දී සිය ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් සයමස් දරුවකු ඇතුළු තිදෙනකුට බරපතළ තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු කථානායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය ඊයේ (12දා) සවස නියෝග කළාය.

අශෝක රන්වල මහතා ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ ජාතික රෝහලේ 72 වැනි වාට්ටුව වෙත පැමිණි මහෙස්ත්‍රාත්වරිය ඒ මහතා පරීක්ෂාකර බලා මෙම නියෝගය ලබාදී තිබේ. මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 19 වැනිදා කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පෙරේදා (11දා) රාත්‍රී 7.45 ට පමණ සපුගස්කන්දේ හෙයියන්තුඩුව දෙනිමුල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා සහ සයමස් බිලිඳා මුලින්ම කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි. අනතුරින් තුවාල ලැබූ රන්වල මහතා ද මූලික ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්වල මහතා සහ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
තුවාල ලබා සිටි සයමස් දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත. හිටපු කථානායක රන්වල මහතා සිය ජීප් රථය පදවාගෙන සපුගස්කන්ද ප්‍රදේශය හරහා යමින් සිටියදී ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක පිටුපස ගැටී අනතුරක් සිදුවී ඇත. ඒ අවස්ථාවේ රන්වල මහතා එම අනතුර වළක්වා ගැනීම සඳහා දකුණු පසට ජීප් රථය හැරවීමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී අනතුර සිදුවිය. එම මෝටර් රථයේ සිටි බිලිඳකු සහ කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා තිබුණි.
පසුව ප්‍රදේශවාසීහු එක්ව තුවාල ලබා සිටි පිරිස රෝහල්ගත කිරීමට කටයුතු කළහ. පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ජීප් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා රියැදුරුගේ පාලනයෙන් තොරව ගොස් රථය අනතුරට ලක්වී ඇති බවයි.
මේ අතර තුවාල ලබා සිටි රන්වල මහතා සපුගස්කන්ද පොලිස් නිලධාරීන් විසින් ඊයේ පෙරවරුවේදී අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරක් වළක්වා නොගැනීම, අනතුරක් සිදුකර පුද්ගලයන් තිදෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන්ගේ රැකවරණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රන්වල මහතා මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කර ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. රන්වල මහතා අනතුරට ලක්වන අවස්ථාවේ බීමත්ව සිටියේද යන්න සෙවීම සඳහා වෛi වාර්තාවක් කැඳවීමට ද පොලිසිය කටයුතු කර තිබිණි.
රන්වල මහතා බීමත්ව සිටියේද යන්න සෙවීමේ ස්ථානීය පරීක්ෂාව සිදුකර නැත්තේ, ඒ මහතා තමාට අධිරුධිර පීඩනය උත්සන්න වී ඇති බැවින් වහාම රෝහල්ගත කරන ලෙස ඉල්ලීමක් කළ නිසා බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
මෙම අනතුරින් තුවාල ලැබූ පිරිස හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අනතුරට ලක්වූ ජීප් රථය, මෝටර් රථය සහ යතුරුපැදිය සපුගස්කන්ද පොලිසිය භාරයට ගෙන ඇත. මෙම වාහනවල තිරිංග ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට නියමිතය.
මෙම අනතුරින් පසු රන්වල මහතා එහි සිටි පිරිස අමතමින් කියා ඇත්තේ තමන් ජීප් රථය පදවාගෙන එද්දී එහි තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා ඉදිරිපසින් ගමන් ගත් යතුරුපැදියේ පසුපස ගැටුණු බවයි. එම යතුරුපැදිකරු බේරාගැනීමට දකුණට හැරවීමේදී ඉදිරිපසින් පැමිණි මෝටර් රථයේ ගැටී අනතුරට ලක්වූ බව රන්වල මහතා ප්‍රකාශ කර ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ හයමස් දරුවා හා ඔහුගේ මව සහ මිත්තණිය බව පොලිසිය පවසයි. දරුවාගේ ගෙල සහ හිස ප්‍රදේශයට අනතුරක් සිදුවී ඇති අතර මවගේ මුහුණු ප්‍රදේශයට තුවාල සිදුවී ඇත. මිත්තණියගේ එක්පාදයකට තුවාල සිදුවී ඇති අතර ඔවුන් ශල්‍යකර්ම සඳහා භාජනය කර තිබිණි.




