
ගංවතුර, නායයෑම් ආපදා තත්ත්වය හමුවේ කිසියම් රෝගියකුගේ මානසික රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමේ සායන පොත් අස්ථානගත වී ඇත්නම් එය ගැටලුවක් කර නොගෙන ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණෙන ලෙස ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා විජේබණ්ඩාර මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

විශේෂයෙන්ම මානසික රෝගවලට ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගත යුතු බවත් එසේ ප්‍රතිකාර නොගතහොත් සංකූලතා සමග නැවතත් මානසික රෝග උත්සන්න විය හැකි බවත් ඇය සඳහන් කළාය.
කිසියම් මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගන්නා අයකු සිටින්නේ නම් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ බාහිර රෝගී අංශයට පැමිණ ප්‍රතිකාර ලබාගත හැකි බව ද ඇය කියා සිටියාය.
පැවැති ආපදා තත්ත්වයන් සමග කිසියම් පුද්ගලයකු මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් සුදුසුකම් ලත් රජයේ සහතික ලත් මානසික උපදේශකවරයකු වෙත යොමුවීම ඉතා වැදගත් බව ද ඇය කීවාය. ආපදා තත්ත්වය ඇති වී සති දෙකක් පමණ ගතවන අවස්ථාවේදී ඇතැම් පුද්ගලයන් මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවත් වැඩිදුර තොරතුරු 1926 අමතා දැන කියාගත හැකි බවත් ඇය කියා සිටියාය.
ඇය මේ බව කියා සිටියේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.




