
ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් පහරකෑමට ලක්වූයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමට ගොස් මිස වෙනත් කිසිදු අපරාධයක් සිදුකිරීමට ගොස් නොවන බව සියම් මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රී මහා විහාර වංශාලංකාර විමලකීර්ති ශ්‍රී ධම්මාලෝක සාහිත්‍යසූරී අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් කියා සිටිති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති සහ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරයේ විහාරාධිපති ලෙස ද කටයුතු කරන උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
2025 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුවෙන් අනතුරුව භික්ෂුන් වහන්සේලා ඇතුළු දස දෙනකු සිරගත කිරීම සම්බන්ධයෙන් අපගේ බලවත් කනස්සල්ලත් කනගාටුවත් පළමුව ප්‍රකාශ කර සිටිමු.
එම සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍යවලින් ඇසීමෙන් හා දැකීමෙන් දැනගත් තොරතුරුත් අපේ මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝසභාවේ නියෝජිත පිරිසක් එම ස්ථානයට යැවීමෙනුත් මා දැනගත් කරුණු අනුව මෙම කරුණු ඔබතුමන් වෙත දැනුම්දීමට කැමැත්තෙමි.
අපේ මාතෘභූමියේ අභිමානවත් ඉතිහාසයට අනුව ශ්‍රී ලංකාව අතීත රජදරුවන් විසින් නව (09) වාරයක දී බුදු සසුනට පූජා කළ භූමියකි. අතීතයේ ඇතැම් යුගවලදී ජාතික හා ආගමික වශයෙන් ශ්‍රී ලංකාව තුළ යම් යම් ගැටලු උද්ගත වුවද ඒවා නිරාකරණය වී වර්තමානය වන විට එබඳු කිසිදු ගැටලුවක් දැනට අප රටේ උද්ගතව නැත.
ත්‍රිකුණාමලය බුදු පිළිමය තැන්පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවේ මන්ත්‍රීවරයකු හා ඔබතුමාගේ රජයේ මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් විසින් ගොඩනඟන ලද විරෝධයක් මිස වෙනත් කිසිදු ජාතිකයකු හෝ ආගමිකයකු මේ වෙනුවෙන් විරෝධයක් ප්‍රකාශ කොට නැත.
එම බෝධි රාජාරාම විහාරස්ථානයට ශාසනික වශයෙන් නීත්‍යනුකූල අයිතියක් බුදු පිළිමය තැන්පත් කළ එම භික්ෂුන් වහන්සේලාට ඇති අතර මේ වන විටත් එම ස්ථානයේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කොට වැඳුම් පිදුම් කරනු ලබයි.
සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ පැරණි ධර්මශාලාවේ පාදම මත ඉතා කුඩා ප්‍රමාණයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා එම ස්ථානයට කිසිදු හානියක් සිදුනොවන බව මාගේ විශ්වාසයයි. සුනාමි ව්‍යසනයට පෙර එහි තිබූ පැරණි ගොඩනැඟිල්ල වෙනුවට එතැනම ගොඩනැඟිල්ලක් ඉදිකිරීම අලුත් ඉදිකිරීමක් සේ හුවා දැක්වීම අමනෝඥ ක්‍රියාවකි.
එම සිද්ධියේදී පොලිසිය සහ භික්ෂුන් ඇතුළු ජනතාව අතර ඇති වූ තත්ත්වය අපි තේරුම්ගෙන ඇත්තෙමු. පොලිසය අත්තනෝමතිකව ක්‍රියාකිරීම නිසාත් කිසියම් දේශපාලනික උපදේශ මත කටයුතු කිරීම නිසාත් මෙම ගැටලුව උද්ගත වූ බව මාගේ විශ්වාසයයි.
නීතිපතිතුමාගේ උපදෙස් බැහැර කොට එම පිරිසට නොකළ වැරදි පිළිගන්නා ලෙස පවසමින් පොලිසිය තම මතයෙහි දැඩිව සිටීම පොලිසියේ අවංකම මතය යැයි අපට කිසිසේත් පිළිගත නොහැකිය.
ගරු ජනාධිපතිතුමනි, මෙම භික්ෂුන් වහන්සේලා බුදු පිළිමයක් තැන්පත් කළේ පෙර රජවරුන් විසින් දිවිහිමියෙන් රැකගත් සසුනට පූජා කරන ලද මේ පින්බිමේ ය. ඔවුන් පහරකෑමට ලක්වූයේ ද බුදු පිළිමයක් තැබීමට ගොස් මිස වෙනත් කිසිදු අපරාධයක් සිදුකිරීමෙන් නොවේ.
එහෙත් මෙවැනි සාමාන්‍ය සිදුවීමක් පදනම් කරගෙන සිදුවිය නොහැකි ආකාරයේ චෝදනා ගොනු කොට රජයේ මැදිහත්වීම ද ඇතුළුව කරන ලද මෙම ක්‍රියාව සිතා මතා ශාසනය සම්බන්ධයෙන් කරන ලද මහා අපරාධයක් බව මාගේ විශ්වාසයයි. එබැවින් රජය මැදිහත් වී මෙම භික්ෂුන් වහන්සේලා ඇතුළු දස දෙනා වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඉතා ඕනෑකමින් දන්වමි.




