
ආර්ථික වශයෙන් ආගාධයට දමා ඇති මේ රට හා ජනතාව නැවත සුවපත් වී සමෘද්ධිමත් වනතුරු විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මන්ත්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (17දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.
විවාදය ආරම්භ කරමින් කතා කළ ඇමති හර්ෂණ නානායක්කාර –
අවුරුදු 5 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කරල දායක නොවන වැටුපකින් ඔවුන් විශ්‍රාම වැටුප් ගන්න එක වැරදියි කියලා විශාල ජන මතයක් තිබුණා. අතීතය කෙසේ වෙතත් වසර 20ක පමණ කාලය තුළ පාර්ලිමේන්තුව ගැන ජනතාවට මතකයි. ඔවුන් දැක්කේ රටේ ජනතාවගේ මුදල් අවභාවිත කරන, සියලු වරප්‍රසාද ගන්න අවශ්‍ය විදිහට සාජ්ජයක් වගේ ජනතාවගේ බදු මුදලින් රට ගෙනයන පාලකයන් හා පාර්ලිමේන්තුවක් දැක්කේ. මෙහෙම අයට මොකටද විශ්‍රාම වැටුපක් කියලා ජනතාව හිතුවා.
අපේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වා වසර 5ක සේවයකින් පසුව ලැබෙන විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියලා. ජනතාවට කන් දෙන ආණ්ඩුවකින් එහෙම පියවරක් ගන්නවා හැර වෙන පියවරක් නෑ.
ජනාධිපතිගේ වරප්‍රසාද අඩු කිරීමේ පොරොන්දු රැසක් අපි ඉටු කළා. පාර්ලිමේන්තු කටයුතු සමාජ සේවාවක් බවට පත්කළා. පාර්ලිමේන්තුව ප්‍රියකරන තැනක් බවට පත්කළ යුතු බව ජනතාව කියනවා. දැන් ජනතාව කැමති නෑ විශ්‍රාම වැටුප් ගන්නවාට. එය සාධාරණයි.
මේ රජය විශාල කාර්යභාරයක් කරනවා. ඒවා ගැන විපක්ෂය කතා කරන්නේ නෑ. සතියේ සටන් පාඨ කියන විපක්ෂයක් ඉන්නේ. ජනතාව නොමග යවන්න නාලිකා සමග එක්ව අසත්‍ය පතුරවනවා. විශ්‍රාම වැටුප අද සම්මත වූ මොහොතේ සිට කලින් ගත්ත කට්ටියට ගන්නත් බෑ. අපිටවත් ඉදිරි පාර්ලිමේන්තුවේ අයටවත් ගන්න බෑ.
2025 දී පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් සඳහා රුපියල් තුන් කෝටි හතළිස් හතර ලක්ෂ හයදහස් එකසිය අසූහයක් ගෙවලා තියෙනවා. මේ රට නැවත සුවපත් වී ගොඩ එනකම් මෙහෙම විශ්‍රාම වැටුපක් ගන්න අපිට සදාචාරාත්මක අයිතියක් නෑ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –
මත විමසුමකින් රජය ජනප්‍රියයි කියලා උද්දාමයට පත් වෙලා. ඔය කියන තරම් ජනප්‍රිය නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න. කමිටු දමාගෙන වළක්වන්න එපා. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතුයි කියලා. ඒ පදනමේ අපි බොහොම ශක්තිමත්ව ඉන්නවා. ඒක ගැන අපි ඍජුවම ප්‍රකාශ කරනවා. ලෝකයේ ප්රජාතන්ත්රවාදී රටවල් වන ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, සිංගප්පූරුව, ඇමරිකාව, ජර්මනිය, ජපානය වැනි ඕනෑම රටක විශ්‍රාම වැටුපක් මහජන නියෝජිතයන්ට ලබා දෙන්නේ ප්‍රධාන හේතුවක් නිසයි. ඒ අල්ලස හා දූෂණය තුරන් කරන්නයි.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන ලොකු උනන්දුවක් තියෙන ආණ්ඩුවට හත් ලක්ෂ පනස් දහසක් වන රජයේ විශ්‍රාමිකයන්ට මොනවාද කරලා තියෙන්නේ. අදටත් සියයට 60 ක වැටුප් වැඩිවීමක් ගුරු විදුහල්පති සේවාවලට ලබා නොදීම තුළ විෂමතාවයක් ඇතිවෙලා. සුබෝධනී කමිටුව වැඩි කළ වැටුපක් නෑ.
නිදහසෙන් පස්සේ මේ දක්වා කාලය තුළ රටට විශාල සේවාවක් රජයෙන් සිදුකළා. ප්‍රමාණාත්මකව මදිවෙන්න පුළුවන්. තව වැඩියෙන් යන්න තිබුණා. විදුලිබිල සියයට 33 කින් අඩු කරනවා කිව්වා. කළාද? විශ්‍රාමික වැඩිහිටියන්ගේ සියයට 15 වේ පොලිය ලබා දෙන්නේ නෑ.
මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල –
පරිහානියට පත්වූ දේශපාලන සංස්කෘතිය නිවැරදි කරන බවට පොරොන්දු වුණා. ජාතීන් අතර සමගිය ඇතිකරනවා කිව්වා. අල්ලස, දුෂණය, වංචාවට තිත තියලා නීතිය සාධාරණව ක්‍රියාත්මක කරනවා කිව්වා. ආර්ථිකය ස්ථායි කළා. ආදායම් මාර්ග වැඩිකර ගත්තා. මේ රටේ පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ක්‍රියා කළා. සියලු වරප්‍රසාද දුන්නා. නීතිකව හා අනීතිකව වරප්‍රසාද ගත්තා. දූෂිත දේශපාලන සංස්කෘතියක් ඇති කළා. අපිට අවශ්‍ය සාමාන්‍ය මිනිස්සු එක්ක සාමාන්‍ය දේශපාලනයක් කරන දේශපාලනඥයන් හදන්නයි. අපි ක්‍රියා කරන්නේ ජනවරම අනුවයි. දූෂිත දේශපාලනය වෙනස් කරන්න පියවර තිබ්බා.
දූෂිත දේශපාලනය නිසා අල්ලස, දූෂණය ඉහවහා ගිය සමාජයක් නිර්මාණය වුණා. විෂ මත්ද්‍රව්‍ය රටම ගිල ගන්න තත්ත්වයක් ඇති වුණා. පාතාලය රජ වුණා. මේ සියල්ලටම අපි තිත තබමින් ඉන්නවා.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා – මේ පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් වෘත්තීයවේදීන් අවශ්‍යයි. වෘත්තියක් කරන්නේ නැතිව පාර්ලිමේන්තුවට ඇවිත් සේවාවක් කරන කොට විශ්‍රාම යෑමේදී යම් ස්ථාවරත්වයක් ලබාදීම වැදගත්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් පිරිස පැමිණීමේ අඩුවක් වෙන්න පුළුවන්. විශ්‍රාම වැටුපක් තිබෙන සේවාවකට නොයා මේ සේවාවට පැමිණෙන්න. අවශ්‍ය නම් විශ්‍රාම වැටුප් සීමාව වසර පහක කාලය දහයක් කරන්න, 15ක් කරන්න ගැටලුවක් නැහැ. විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නෑ කියලා දැණුනම අකටයුත්තක් කරලා මුදල් හොයාගන්න හිතන්න පුළුවන්. ඔබලා එදා කිව්වේ 225ම හොරු කියලා. එහෙමයි වෛරය වැපිරෙව්වේ.
නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල –
1977දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ගෙනාවා. ඊට හරියටම වසර 48කට පස්සේ අහෝසි කරන්න ක්‍රියා කරනවා. සමාජ විරෝධී කැත පනත අහෝසි කරන්න වසර 48ක් ජනතාවට බලාගෙන ඉන්න වුණා. අපිව ජනතාව තෝරා ගත් න්‍යාය පත්‍රය පැහැදිලියි. පැවති රජයන් ඒ පනත ශක්තිමත් කළා. සිරිමාවෝ පනත ගෙනාවා. ජනතාව දුන්නු බලය පාවිච්චි කළේ තම සුඛ විහරණය වැඩිකර ගන්නටයි. පරම්පරා ගණනාවකට උපයාගත් ධනයට අතිරේකව මේ වැටුපත් ලැබුණා. මුලින් මන්ත්‍රීවරයාට තිබූ විශ්‍රාම වැටුප අනුව කාලත්‍රයාට, දරුවන්ට පහසුකම් ලැබෙන පරිදි වැඩි කළා. ජනවරම ඉෂ්ට කළ අද ඵෙතිහාසික දවසක්.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක – (න.ප්රජාස)
මේ විශ්‍රාම වැටුපට විරුද්ධව මම සංශෝධනයක් ගේනවා. මෙයින් ජීවත්වන ගොඩක් මන්ත්‍රීවරු ඉන්නවා. එදා ජවිපෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා මැරුණු මන්ත්‍රීගේ බිරිඳත් විශ්‍රාම වැටුප් ලබනවා. ජවිපෙ මන්ත්‍රීවරු 72ක් විශ්‍රාම වැටුප් විටින් විට ගත්තා. ඒ මුදල්වලට මොනවද වුණේ කියලා අපි දන්නේ නෑ.
අපිට හොරු කියා ආණ්ඩුවේ අය බරපතළ සොරකම් කරනවා. ප්‍රාදේශීය සභාවල හොරකම් වෙනවා. වතුකරයේ ජනතාවට විශ්‍රාම වැටුපක් හදලා දෙන්න.
අගමැතිනි හරිනි අමරසූරිය –
මේ පනත සම්මත වූ පසු අද දිනය ඓතිහාසික දිනයක් වෙනවා. විපක්ෂයේ මතය පැහැදිලියි. පනතට විරුද්ධවීමට සාධාරණ තර්කයක් ගොඩනඟන්න බැරි නිසා වෙන වෙන කතා කියනවා.
1977 විශ්‍රාම වැටුප් පනත ගෙනාවාට පස්සේ 1979 දී සංශෝධනයන් එනවා. 1982, 1989, 1990 සංශෝධන ගේනවා. සෑම සංශෝධනයන් තුළදීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වැඩිකර ගන්න තීන්දු තීරණ තමයි තියෙන්නේ. 1985දී ගෙනෙන සංශෝධනයේදී තමා කැමති විශ්‍රාම වැටුපක් ලබාගත හැකියි. මන්ත්‍රීන්ගේ කලත්‍රයාට, දරුවන්ට හිමිකම් ලැබිය හැකියි. අවුරුදු 21 දක්වා දරුවාට විශ්‍රාම වැටුප ගන්න පුළුවන්. ආබාධිත නම් ජීවිත කාලයටම හිමියි.
මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අපි බැඳිලා ඉන්නවා. මහජනතාව හා ජනතා නියෝජිතයා අතර පරතරය වැඩි කරනවා. වෙනස පුළුල් කරනවා. 77ට පෙර දේශපාලනයට ආවේ තමන්ගේ දේපළ කැප කරලා. මුදල් අත හැරියා. වෘත්තීන් අතහැරියා. මොන ප්‍රශ්න ඔවුන් ගැන තිබ්බත් මහජන සේවය කියන සංකල්පය ඔවුන් තුළ තිබ්බා. 77 න් පස්සේ එහි අනෙක් පැත්ත සිදු වුණේ. දේශපාලකයා වරප්‍රසාද ලත් වෙනම පංතියක් වුණා. දූෂණය, වංචාව සියල්ලත් එක්ක තමයි දේශපාලකයා පෝෂණය වුණේ. දේශපාලකයා ගැන පිළිකුලක් ඇති වුණා. මේ තත්ත්වය වෙනස් කර මහජන නියෝජිතයන් හා ජනතාවත් අතර ඇති පරතරය නැති කරන්නයි අපට අවශ්‍ය. එය ඉටු කරනවා.
පත්කළ මන්ත්‍රී දිලිත් ජයවීර –
ජාතික ජනබලවේගය මේ යෝජනාව ගේන්නේ අතිශය දුෂ්ට චේතනාවෙන්. ජවිපෙ හිටිය 72කට ආසන්න මන්ත්‍රීවරු. ඔවුන්ගේ සියලු වැටුප් බිලියන ගණන් පක්ෂයේ ගිණුමට වැටුණා. එහි බහුතරයක් පක්ෂයෙන් එළියේ ඉන්නේ. තවදුරටත් ඔවුන්ට පක්ෂයේ රැකවරණයක් නෑ. ඔවුන් යැපුනේ විශ්‍රාම වැටුපෙන්. නිර්ධන පාංතිකයා වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් ඔවුන්ව වළපල්ලට යවන යෝජනාවක් මේ ගෙනල්ලා තියෙන්නේ. හොරකම් නොකර වැඩකරන මන්ත්‍රීවරයකුට විශ්‍රාම ගියාම බෙහෙත් ටිකවත් ගන්න බැරි වෙනවා.




