
රටට අවශ්‍ය ඉන්ධන ලබාදිය හැකි පාර්ශවයන් තමන් දන්නා නමුත්, පවතින අර්බුද හමුවේ ඔවුන් ඉදිරිපත් වීමට මැලිවන බව පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් පවසනවා.

වර්තමාන ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කළේ, රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම සඳහා පටු දේශපාලන මතිමතාන්තර පසෙකලා සියලු දෙනා එක්විය යුතු මොහොතක් එළඹ ඇති බවයි.
ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටී ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ සෘජු පිළිවෙත මෙහිදී අගය කළා.
“රනිල් වික්‍රමසිංහ කෙලින්ම ඇවිත් කිව්වා සතියක් අමාරුයි, දෙකක් අමාරුයි කියලා. මම ඒකට කැමතියි. ඇත්ත කියනකොට මිනිස්සු මුලින් බනිනවා, නමුත් පස්සේ වඳිනවා. ඒක තමයි මේ රටේ හැටි.”
එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාට සිදු කිරීමට ඇත්තේ ජනතා විශ්වාසය ගොඩනැගීමට වඩා රට ගොඩනැගීමේ අභියෝගය බවත්, ඒ සඳහා ජනතාවට සත්‍යය පැහැදිලි කර දීම අත්‍යවශ්‍ය බවත් උන්වහන්සේ පවසනවා.
ඒ අනුව පවතින අර්බුදයට විසඳුම් ලෙස තෙල් ලබා දිය හැකි පුද්ගලයින් සහ ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත්, ඒ සඳහා මැදිහත් විය හැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.
එමෙන්ම දේශපාලනය පසෙකලා රට වැටීම වැළැක්වීමට සහ ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට සාමූහිකව කටයුතු කළ යුතු බව පැවසූ සමන්තභද්‍ර හිමියන් පෙන්වාදෙන්නේ, කොවිඩ් සමයේ මෙන් නිවසේ සුළුවෙන් හෝ වගා කටයුතු ආරම්භ කළ යුතු බවයි.
දැනට පවතින නිවාඩු කාලයන් ඵලදායී ලෙස වගා කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ පවසන්නේ.
එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ, තමන් වසර ගණනාවක අත්දැකීම් ඇති අයෙකු ලෙස මේ ප්‍රකාශ සිදුකරන බවත්, බොරුවෙන් රටක් ගොඩනැගිය නොහැකි බවයි.




