
දිවයින පුරා පිහිටි බන්ධනාගාර තුළ සිදුවන ගැටුම් සහ කැරලි මර්දනය කිරීමේ අරමුණින්, රැඳවියන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් අලුතින් යෙදවීමට රජය තීරණය කර තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම බුද්ධි අංශ නිලධාරීන් විසින් රැඳවියන්ගේ ප්රචණ්ඩකාරී හැසිරීම්, ඔවුන්ගේ කුමන්ත්රණකාරී ස්වභාවය සහ බාහිර පාතාල කණ්ඩායම් සමඟ පවත්වන සබඳතා පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වෙමින් වාර්තා කරනු ඇත.
බන්ධනාගාර තුළ සිදුවන ගැටුම් කල්තියා හඳුනාගෙන ඒවා වැළැක්වීම මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණයි.
මීට අමතරව, රැඳවියන් බන්ධනාගාර තුළ කල්ලි ගැසීම වැළැක්වීම සඳහා නව ක්රමවේදයක් හඳුන්වා දීමට ද බලධාරීන් තීරණය කර ඇත. ඒ අනුව, රැඳවියන් එකම බන්ධනාගාරයක දිගු කාලයක් රඳවා නොතබා, වරින් වර වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගැනේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, මේ වන විට මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන් 42,000ක් පමණ රඳවා සිටිති. ඉන් 817කට අධික පිරිසක් බරපතල අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූවන් බව වාර්තා වේ.
බන්ධනාගාර තුළ සිට ක්රියාත්මක වන පාතාල කල්ලිවල විවිධ කුමන්ත්රණකාරී වැඩසටහන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඒ පිළිබඳව වහාම වාර්තා කරන ලෙසත් රජය බුද්ධි අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.




