
මොනරාගල දිස්ත්රික්කයට බලපා ඇති දැඩි නියං තත්වය නිසා මොනරාගල නගරය ඇතුළු ප්රදේශ රැසක උග්ර ජල හිඟයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

දැඩි නියං තත්ත්වයත් සමඟ ජල මූලාශ්ර සිඳීයාම නිසා ජල සැපයුමද දින තුනකට වරක් සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මොනරාගල කාර්යාලය පියවර ගෙන තිබෙන බවද සඳහන් වේ.
මොනරාගල නගරයට ජලය සපයන ප්රධාන ජල මූලාශ්ර දෙකෙන් එකක් වන මරගල කඳුවැටියෙන් ගලා බසින ජී ලෝන් ජල මූලාශ්රය මඟින් දිනකට ජලය ගණන ඝන මීටර් තුන්දහස් පන්සියයක් පිරිසිදු කර බෙදා හරින අතර පවතින දැඩි වියළි කාලගුණය නිසා එම ජල මූලාශ්රය සැලකිය යුතු ලෙස සිදී ගොස් ඇති හෙයින් ජලය සැපයීම දින තුනකට වරක් සිදුකෙරෙන බව සඳහන්.
එමෙන්ම දෙවන ජල මූලාශ්රය වන කුඹුක්කන් ඔය මඟින් දිනකට ජලය ඝන මීටර් හයදහසක් පමණ නිෂ්පාදනය කළද, එම ජලය බුත්තල,ඔක්කම්පිටිය,මඩුල්ල සහ මොනරාගල යන ප්රදේශ සියල්ලටම බෙදා හැරිය යුතු හෙයින් පවතින නියං තත්වය නිසා එම ජලයද ප්රමාණවත් නොවන තත්ත්වයට පත්ව තිබේ.
මරගල කඳුවැටියේ මිනිස් ක්රියාකාරකම් නතර කිරීම සඳහා ජල මූලාශ්ර පවතින ප්රදේශවල ජීවත්වන ජනතාවට දිස්ත්රික්කයේ වෙනත් ප්රදේශවලින් ඉඩම් ලබාදී ජල මූලාශ්රය සුරැකීමට පියවර ගන්නා ලෙස මොනරාගල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
2019 වර්ෂයේ මොනරාගල දිස්ත්රික්කයේ ජල ගැටලුවට විසඳුමක් ලෙස කුඹුක්කන් ඔය ජලාශය ඉඳිකිරීම සඳහා මුල්ගල තැබුවද එය තවමත් මුල්ගලකට පමණක් සීමා වී ඇති බවද මොනරාගල ජනතාව පෙන්වා දෙති.




