
මහජන නියෝජිතයන් නොමැතිව මහජන නියෝජිත ආයතන පවත්වාගෙන යාම බරපතල වරදක් බවත්, නිලධාරීන් කිසිවිටෙකත් ජනතාවට වගනොකියන බැවින් නිලධාරී පාලනය කිසිසේත්ම මහජන නියෝජිත පාලනයකට සමාන කළ නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මාධ්‍ය සාකච්ඡාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා මෙසේ සඳහන් කළේය.

“දැන් මේ පළාත් සභා පවතිනවා. හුඟදෙනෙක් කියනවා ‘ආ නියෝජිතයෝ නැතුව හොඳට යනවා නේද? ප්‍රශ්නයක් නැහැනේ’ කියලා. ඒක නෙවෙයි ප්රශ්නය. යම් මහජන නියෝජිත ආයතනයක් ජනතාවගේ නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන යෑම අපරාධයක්.”
“යම් කෙනෙකුට අහන්න පුළුවන්, එහෙමනම් පළාත් සභාව මන්ත්‍රීවරු නැතුව හොඳට යනවා නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් නැතුව දුවන්න පුළුවන්නේ, පළාත් පාලන ආයතනත් නැතුව දුවන්න පුළුවන්නේ කියලා. නිලධාරීන්ගේ පාලනය කිසිසේත්ම මහජන නියෝජිතයන්ගේ පාලනයක් නෙවෙයි. මොකද නිලධාරීන් කිසිවිටෙක මහජනතාවට වගකියන්නේ නැහැ.”
ඉදිරියේදී යෙදෙන ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනය පිළිබඳව මතක් කරමින්, කල්දමා ඇති මැතිවරණ පැවැත්වීමට අදාළව පියවර ගන්නා ලෙස හිටපු සභාපතිවරයා මෙසේ ද ඉල්ලා සිටියේය.
“වැදගත්ම කරුණ, තව මාසෙක හමාරකින් ලෝක ප්රජාතන්ත්රවාදී දිනය එළඹෙනවා, සැප්තැම්බර් 15. අඩුම වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා එදා වෙනකොටවත් අපි හැමදාම කියනවා වගේ මේ ඡන්ද විමසීම තියන්නේ කවදද, කොයි විදිහටද කියලා ප්‍රකාශයට පත් කරාවි කියලා.”




