
මෙරට සෑම පුරවැසියෙකුටම තමන්ගේම කියා වාහනයක් හිමි කරගත හැකි පසුබිමක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනතාවට තම ජීවිතය සතුටින් ගත කිරීමටත්, එදිනෙදා අවශ්‍යතාවයන් පහසුවෙන් ඉටු කර ගැනීමටත් වාහනයක් හිමි වීම වැදගත් සාධකයක් වන බවයි. එම තත්ත්වය උදා කිරීම සඳහා රටේ පවතින ආර්ථික හා ප්‍රතිපත්තිමය ව්‍යුහය විශාල වෙනසකට ලක් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මීට වසර දෙකකට පෙර මෙරටට වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර තිබූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, රජය මැදිහත් වී ඉතා කෙටි කාලයක් තුළ එම සීමාවන් ඉවත් කර නැවත වාහන ආනයනය ආරම්භ කිරීමට කටයුතු කළ බව පැවසීය. මේ වන විට ඕනෑම වර්ගයක වාහනයක් මෙරටට ගෙන්වීමට අවශ්‍ය ඉඩප්‍රස්තාව ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින අනපේක්ෂිත යුදමය වාතාවරණය හේතුවෙන් වාහන ආනයනයට අදාළ බදු සම්බන්ධයෙන් යම් යම් තාවකාලික සීමාවන් පැනවීමට සිදුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
කෙසේ වෙතත්, එම යුදමය තත්ත්වය සමනය වූ වහාම එම තාවකාලික සීමාවන් ඉවත් කර ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සහතික විය.
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ යටතේ, ඉදිරියේදී වාහන මිලදී ගැනීම වඩාත් පහසු වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.




