
ලෝකයේ පවතින යුදමය වාතාවරණය අවසන් වනතුරු මෙරට වාහන මිලෙහි අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රජය විසින් වාහන ආනයනය මත පනවා ඇති අධිභාර බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
පසුගිය මැයි 15 වනදා මාස තුනක කාලයක් සඳහා පැනවූ මෙම අධිභාර බද්ද, නව ගැසට් නිවේදනයක් මගින් එළඹෙන දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් අගෝස්තු 15 වනදායින් පසු වාහන මිල අඩු වනු ඇතැයි පාරිභෝගිකයන් තුළ පැවති බලාපොරොත්තු සුන් වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම බදු සංශෝධනයත් සමඟ වෙළඳපොළේ ජනප්‍රිය වාහන මාදිලි කිහිපයක මිල ගණන් ඉහළ යන ආකාරය මෙරංචිගේ මහතා මෙලෙස පැහැදිලි කළේය.
Yaris රථයක්: රුපියල් ලක්ෂ 11 – 12 කින්, ඇක්සියෝ (Axio) රථයක් රුපියල් ලක්ෂ 12 – 13 කින්, ඇල්ටෝ (Alto) සහ ඩේස් (Dais) වැනි කුඩා මෝටර් රථ රුපියල් ලක්ෂ 05 – 07 කින්, රේස් (Raize) රථයක් රුපියල් ලක්ෂ 15 – 15.5 කින්, එස්-ප්රෙසෝ (S-Presso) රථයක් රුපියල් ලක්ෂ 22.5 කින් පමණ මිල ඉහළ යා හැකි බව ඔහු සඳහන් කළේය.
පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ රජයට අවශ්‍ය ආදායම් උපයා ගැනීම සඳහා මෙවැනි බදු පැනවීමට සිදුව ඇති බවත්, වාහන ආනයනය හරහා රජයට විශාල බදු ආදායමක් මෙන්ම විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හරහා මෙරටට විදේශ විනිමය ද ගලා එන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.




