
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. සමාජ සහ දේශපාලන ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

එම සංචාරය රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල ආරාධනයකට අනුව සිදුවූවක් නොවන බවත්, එය පෞද්ගලික සංචාරයක් බවත් පෙන්වා දෙන ඕෂල හේරත් මහතා, ඒ සඳහා බ්‍රිතාන්‍ය රජයේ නිල වෙබ් අඩවියේ (gov.uk) ඇති දත්ත උපුටා දක්වා තිබේ.
බ්‍රිතාන්‍ය රජයේ නිල දත්ත වාර්තා
බ්‍රිතාන්‍ය රජය විසින් පවත්වාගෙන යනු ලබන ‘රාජ්‍ය සහ රජයේ අමුත්තන්ගේ සංචාර’ පිළිබඳ විනිවිදභාවය තහවුරු කෙරෙන නිල ලේඛනවලට අනුව, 2023 වසරේ ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අමුත්තෙකු ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි බවට කිසිදු සටහනක් ඇතුළත් වී නොමැත.
එම කාල සීමාව තුළ බ්‍රිතාන්‍යයට පැමිණි අනෙකුත් විදේශීය රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් පිළිබඳ තොරතුරු එම ලේඛනවල පැහැදිලිව සඳහන්ව තිබුණද, එවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම ඊට ඇතුළත් කර නොමැති බව පැමිණිලිකරු පෙන්වා දෙයි.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව
මෙම පෞද්ගලික සංචාරය නිල සංචාරයක් ලෙස හඟවමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 166කට අධික මහජන මුදලක් වැය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. ජනාධිපති ධුරයේ බලතල භාවිත කරමින් සිදුවූයේ යැයි කියන මෙම රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඕෂල හේරත් මහතා ඉල්ලා සිටී.
බ්‍රිතාන්‍ය රජයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් අදාළ දත්ත සහ සියලු තොරතුරු අඩංගු ලේඛනද ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් වෙත භාර දී තිබේ.




