
ලෝකයේ සිදුවන විවිධ තීරණ හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළට යම් යම් බලපෑම් එල්ල වුවද, එම අවදානම් සාර්ථකව කළමනාකරණය කර ගැනීමට රජය සමත්ව සිටින බව කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ආනයන හා අපනයන පාලන පනත යටතේ පැවැති විවාදයට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්ව ඇති බවයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ කරුණු පහත පරිදි වේ.
- ඇමරිකානු තීරු බදු අඩු කරගැනීම: ඇමරිකාව විසින් පනවන ලද 47%ක තීරු බද්ද සම්බන්ධයෙන් නිසි ලෙස මැදිහත් වී කටයුතු කිරීම නිසා එය 30% සහ 20% දක්වා පහත හෙළීමට හැකි විය.
- බලහත්කාරී ශ්‍රමය සහ ගෝලීය සැපයුම් දාම: බලහත්කාරී ශ්‍රමය යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ මැදිහත්වීම මත රටවල් 64කට 10% සහ 12.5%ක බදු යෝජනා වී තිබේ. ශ්‍රී ලංකාව නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ආනයනය කරන බැවින් යම් අවදානමක් පැවැතුණද, ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් පත්කළ කමිටුව හරහා වහා පියවර ගන්නා ලදී.
- අපනයනකරුවන්ට ලැබුණු වාසිය: මෙරට නිෂ්පාදන ක්‍රියාවලියේදී බලහත්කාරී හෝ ළමා ශ්‍රමය යොදා නොගන්නා බවත්, බලහත්කාරී ශ්රමයට සම්බන්ධ අමුද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට පියවර ගත් බවත් තහවුරු විය. එමගින් අපනයනකරුවන්ට විශේෂ වාසියක් හිමිවූ අතර අපනයන වෙළෙඳාමට බාධාවක් නොවීය.
- GSP Plus සහ ආර්ථික වර්ධනය: පවතින තත්ත්වය හමුවේ GSP Plus සහනය සඳහා නැවත අයදුම් කිරීමට කටයුතු කරමින් සිටී. මැදපෙරදිග යුදමය තත්ත්වයක් පැවැතියද උද්ධමනය පාලනය කරගනිමින්, නිෂ්පාදන ධාරිතාව සහ ආර්ථිකය අඛණ්ඩව වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.




