
නැවෙන් ගොඩබාන සෘජු පිරිවැයටම පාරිභෝගිකයාට ඉන්ධන ලබා දීමට ඇති හැකියාව පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඉන්ධන සිල්ලර මිල තීරණය වන්නේ අදාළ තොග මෙරටට ළඟා වූ කාලවකවානුව සහ ඒ සඳහා දැරීමට සිදු වූ සමස්ත පිරිවැය පදනම් කරගනිමින් බවයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

මෑතකදී පෙට්‍රල් මිල පහත දැමුවද ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස් නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියේය. ඩීසල් හා භූමිතෙල් මිල අඩුවීම සාමාන්‍ය ජනතාවට මෙන්ම ධීවර ප්‍රජාවට ද සෘජුවම බලපාන බවත්, පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රිරෝද රථ ගාස්තු හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලෙහි ඊට සාපේක්ෂ අඩුවීමක් සිදුව නොමැති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ, රජයේ මූලික අරමුණ සියලුම ඉන්ධන වර්ගවල මිල පහත හෙළමින් ජනතාවට සහන සැලසීම වුවද, ඇණවුම් කර ඇති නැව් ගාස්තු සහ දැනට පවතින තොගවල පිරිවැය නිසි ලෙස කළමනාකරණය කරමින් අදාළ තීරණ ගත යුතු බවයි. සියලුම ඉන්ධන වර්ගවල මිල එකවර පහත හෙළීමට නොහැකි වන්නේ මෙකී තාක්ෂණික හා පිරිවැය කළමනාකරණ හේතූන් මත බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ලෝක වෙළෙඳපොළේ පවතින මිල වෙනස්වීම් සහ මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් ද ඉන්ධන මිල කෙරෙහි සෘජුව බලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි මාසය වන විට මෙම තත්ත්වයන් ස්ථාවර වුවහොත් සියලුම ඉන්ධන වර්ගවල මිල පහත දැමීමට රජය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය. එසේම, පෙට්‍රල් මිල අඩු වුවද සහනය ජනතාවට නොලැබෙන ත්‍රිරෝද රථ ගාස්තු වැනි ක්ෂේත්‍ර නියාමනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, සහන සැලසිය හැකි පළමු අවස්ථාවේදීම ඒ සඳහා පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.




