
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදල් අයථා පරිහරණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගයද ලබන 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා අද අදාළ නඩු කටයුතු සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාද, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන්ද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.




