
දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ඇතැම් ප්‍රදේශවල නායයෑම් සිදුවීමට පෙර මතුවන අවදානම් ලක්ෂණ මේ වනවිට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නායයෑම් අවදානම් තත්ත්වයන් මතුව ඇති බවයි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් නායයෑම් සිදු නොවූ නමුත් පස් සහ ගල් පහළට ගලා ආ ප්‍රදේශවලට ඉදිරියේදී දැඩි වර්ෂාපතනයක් ලැබුණහොත් නායයෑම් සිදුවීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරියේදී අපේක්ෂා කරන අධික වර්ෂාවත් සමඟ නායයෑම් සක්‍රීය වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවද ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව මේ වනවිට අධි අවදානම් තත්ත්වයේ පසුවන පවුල් 16,793ක් හඳුනාගෙන ඇති බවයි. නිරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බැවින් එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේය.
පසුගිය වසර 15ක කාලය තුළ නායයෑම් සම්බන්ධයෙන් අධි අවදානම් පවුල් 15,000ක් පමණ හඳුනාගෙන ඇති බවත්, ඉන් පවුල් 5,000ක් පමණ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටින බවත් ආචාර්ය සේනාධීර මහතා පැවසීය. දිට්වා බලපෑමෙන් හඳුනාගෙන ඇති නව පවුල්ද සමඟ අධි අවදානම් තත්ත්වයේ පසුවන පවුල් සංඛ්‍යාව 30,000 ඉක්මවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අධික වර්ෂාවක් පවතින අවස්ථාවක නායයෑම් අවදානම් සහිත ප්‍රදේශයක ජීවත් වන්නේ නම්, හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයක් වෙත ගොස් ජීවිත ආරක්ෂාව සලසා ගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම නායයෑම් සිදුවන ප්‍රදේශ නැරඹීම සඳහා කිසිදු අවස්ථාවක එම ස්ථාන වෙත නොයන ලෙසත්, දිට්වා සුළි කුණාටුවෙන් පසුව ආරක්ෂිත යැයි හඳුනාගෙන තිබූ ඇතැම් ස්ථාන පවා මේ වනවිට අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බැවින් වඩාත් සැලකිලිමත් වන ලෙසත් ආචාර්ය වසන්ත සේනාධීර මහතා අවධාරණය කළේය.
විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු මත ක්‍රියා නොකර, රජයේ ආයතන විසින් නිල වශයෙන් නිකුත් කරන නිවේදන හා තොරතුරු මත පදනම්ව තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.




