
එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවූ අතර, එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙම නඩුවේ සිව්වන සැකකරු ලෙස නම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ, එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ලැබුණු බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් සිංගප්පූරුවේ පිහිටි ‘බිස් සොලියුෂන්’ නමැති සමාගමේ බැංකු ගිණුමකට ලැබී ඇති බවයි.
එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනයක් මියගොස් සිටින කපිල චන්ද්‍රසේන මහතාට අයත් ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට යොමු කර ඇති බවත්, තවත් රුපියල් මිලියන 25ක මුදලක් සිංගප්පූරුවේ ‘SL Agro’ නමැති සමාගමකට යොමු කිරීමෙන් අනතුරුව එය නඩුවේ තවත් සැකකරුවකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමට බැර වී ඇති බවත් අධිකරණයට දැනුම් දී තිබේ.
තවද, ‘බිස් සොලියුෂන්’ සමාගමේ ගිණුමෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් ඕස්ට්‍රේලියාවේ සිටින නිමල් පෙරේරා මහතාට අයත් ‘සේවර් විෂන්’ නමැති සමාගමේ ගිණුමකට බැර වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එම මුදලින් රුපියල් මිලියන 100ක් නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට නිමල් පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබාදුන් ප්‍රකාශයක සහ දිවුරුම් ප්‍රකාශයක සඳහන් කර ඇති බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එයාර්බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී ඇති බවත්, වෝහාරික විගණන වාර්තාද ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එම වාර්තාවල ඇතුළත් ඊමේල් පණිවුඩ පරීක්ෂා කිරීමේදී නාමල් රාජපක්ෂ මහතා සහ එයාර්බස් සමාගමේ නිලධාරීන් අතර සම්බන්ධතා පැවති ආකාරය පිළිබඳ කරුණු අනාවරණය වන බවද ඔහු පැවසීය.
නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, ඔහු ඇප මත මුදා හැරියහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බව අධිකරණයට පෙන්වා දුන්නේය.
නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප ඉල්ලීමක්
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පැමිණිල්ල මගින් ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
ඇප ලබාදීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන අනුව තම සේවාදායකයා ඇප මත මුදා හැරීමට කටයුතු කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත පුද්ගලයකු බැවින් රටින් පලා යාමේ හෝ අධිකරණය මඟහැර යාමේ අවදානමක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට මෙතෙක් කිසිදු කරුණක් ඉදිරිපත් වී නොමැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ඔහුට අදාළ වන බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.
ඒ අනුව, එදින දක්වා නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.




