
ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී ‘කාවන්තිස්ස’ ඇතා මියයාමේ සිදුවීමත් සමඟ වන අලි සුබසාධනය වෙනුවෙන් විශේෂ පශු වෛද්ය ඒකකයක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

අසනීප වන අලි ඇතුන් සිටින ස්ථානයටම ගොස් ක්ෂේත්රයේදී කඩිනම් වෛද්ය ප්රතිකාර ලබාදීමේ අරමුණින් මෙම ඒකකය ස්ථාපිත කිරීම පිළිබඳව අවධානය යොමුව ඇත.
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ අලි ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව ඊයේ (21) පෙරවරුවේ පළමු වරට රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව සාකච්ඡාවට බඳුන් වී තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සහ සත්වයාට සිදුවූ හානියේ ස්වභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ. එමෙන්ම අදාළ සිදුවීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සමාලෝචනය කර ඇත.
කාවන්තිස්ස ඇතාගේ මරණයට අදාළ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්රධාන වගකීමකි. ඊට අමතරව වන අලි සුබසාධනය වෙනුවෙන් විධිමත් සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) සකස් කිරීම සහ දිවයින පුරා අලි ඇතුන් සුරැකීම සඳහා ජාතික වැඩසටහනක් ක්රියාත්මක කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමද කමිටුවට පැවරී තිබේ.
වනජීවී සහ නීතිමය ක්ෂේත්ර නියෝජනය කරන විශේෂඥයන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ. එහි සභාපතිවරයා ලෙස හිටපු අමාත්යාංශ ලේකම් ඒ. එච්. සරත් විජේසිංහ මහතා කටයුතු කරන අතර, ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන් මහතා කමිටුවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි.
මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය පී. ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ. කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරුන්ද කමිටු සාමාජිකයන් ලෙස එම මූලික සාකච්ඡාවට එක්ව සිටියහ.
කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ විමර්ශනයට අමතරව, මෙවැනි සිදුවීම්වලදී කඩිනම් වෛද්ය ප්රතිචාර ලබාදීමේ ක්රමවේදයක් සකස් කිරීම සහ වන අලි සුබසාධනය සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම කමිටුවේ ඉදිරි කටයුතුවලට ඇතුළත් වේ.




