
දකුණු කොරියාවේ වසර අටක පමණ කාලයක් සේවය කර උපයාගත් මුදලින් ත්රිකුණාමලයේ හෝටලයක් ඉදිකර පවත්වාගෙන ගිය ව්යාපාරිකයෙකු එම හෝටල් පරිශ්රයේදී ඝාතනයට ලක්ව තිබේ.

පසුගිය 20 වැනිදා රාත්රියේ වාර්තා වූ මෙම සිදුවීම සිදුව ඇත්තේ ත්රිකුණාමලය, සිංහපුර හතර කණුව ප්රදේශයේ පිහිටි ‘මවුන්ට් විව් ගෙස්ට්’ නමැති හෝටලයේදීය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 54 හැවිරිදි ඩබ්ලිව්.කේ. නිමල් කොස්ගොල්ල නමැති අවිවාහක පුද්ගලයෙකි. මහනුවර ප්රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වූ ඔහු දකුණු කොරියාවේ රැකියාව නිමවා මෙරටට පැමිණීමෙන් පසු මෙම හෝටලය ඉදිකර පවත්වාගෙන ගොස් තිබේ. ඔහු හෝටලයේම කාමරයක නවාතැන් ගෙන සිටි බව පොලිසිය සඳහන් කළේය.
හෝටලයට නුදුරින් පදිංචිව සිටි ඔහුගේ ඥාති සහෝදරියකට ඇති වූ සැකයක් මත සිදුකළ සොයාබැලීමකදී මෙම ඝාතනය අනාවරණය වී තිබිණි.
පසුගිය 20 වැනිදා රාත්රියේදී ඇය ව්යාපාරිකයා නවාතැන් ගෙන සිටි කාමරයට පැමිණ පරීක්ෂා කළ අවස්ථාවේ එහි ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබී ඇත. ඒ අනුව හෝටල් පරිශ්රය තවදුරටත් පරීක්ෂා කිරීමේදී කබානාවක් ආසන්නයේ ඔහු ඝාතනය කර දමා තිබෙනු දැක ඇති ඇය ඒ පිළිබඳව වහාම පොලිසිය දැනුවත් කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, ව්යාපාරිකයාගේ ගෙලට බරපතළ කැපුම් තුවාල සිදුකර මෙම ඝාතනය කර තිබූ බවයි.
කෙසේ වෙතත්, ඝාතනයට හේතුව හෝ ඊට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී නොතිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ත්රිකුණාමලය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මූලික විමර්ශන ආරම්භ කර තිබූ අතර, ත්රිකුණාමලය දිසා භාර නියෝජ්ය පොලිස්පති මහින්ද දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ද ක්රියාත්මක කර තිබිණි.
ත්රිකුණාමලය කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී පුෂ්ප කුමාර මහතාගේ සහ ත්රිකුණාමලය ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී (1) ප්රසන්න ද සිල්වා මහතාගේ උපදෙස් මත, ත්රිකුණාමලය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ ත්රිකුණාමලය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව වැඩිදුර විමර්ශන සිදුකර තිබිණි.




