
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට තත්පරයට ඝන අඩි 16,500ක් තරම් සීඝ්රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බව දැනුම් දී ඇත.
මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව මත මෙම ප්රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බව පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය මත දැදුරු ඔය ද්රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංගා නිම්නයේ පහළ ප්රදේශවලට හා ඒ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවනු ලැබේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස අදාළ ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලබන අතර, මේ සම්බන්ධයෙන් අවශ්ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින්ද ඉල්ලා සිටී.
කලා ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයෙහි ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ සඳහන් කළේ, රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාවල අයට ගංගා නිම්නයේ පහළ ප්රදේශවලට හා ඒ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවය.
එමෙන්ම රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට තත්ත්පරයට ඝන අඩි 13,200කට අධික සීඝ්රතාවයකින් කලා ඔයාට ජලය මුදාහරිමින් පවතී.
ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩිවීමට ඉඩ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්රදේශය හරහා ගමන් ගන්නා රියදුරන්ගේ හා මගීන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.




