
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා රජය ගත් ක්රියාමාර්ගවල ප්රතිඵලයක් ලෙස මාස දෙකක කාලයක් තුළ බන්ධනාගාරගත රැඳවියන් සංඛ්යාව 5,000කට අධික ප්රමාණයකින් අඩු වී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව, පසුගිය ජූලි 01 වැනිදා වන විට 41,993ක්ව පැවති බන්ධනාගාර රැඳවියන් සංඛ්යාව සැප්තැම්බර් 30 වැනිදා වන විට 36,925 දක්වා අඩු වී තිබේ. එය රැඳවියන් 5,068ක අඩුවීමකි.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
බන්ධනාගාරවල තදබදය ඉහළ යාමට බලපෑ ප්රධාන හේතුවක් ලෙස රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ පැවති ප්රමාදය හඳුනාගෙන ඇති බවත්, එම තත්ත්වය අවම කිරීම සඳහා අදාළ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පුරවා කාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් අමාත්යවරයා පැවසීය.
එහි ප්රතිඵලයක් ලෙස පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙක තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 1,506ක් නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
තවද, ඉදිරියේදී සිදු කිරීමට නියමිත නීති සංශෝධන යටතේ රස පරීක්ෂකවරයා වෙත භාණ්ඩයක් ලැබුණු පසු මාස දෙකක් ඇතුළත අදාළ වාර්තාව නිකුත් කළ යුතු බවට නියම කිරීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම, නඩුව අවසන් වන තෙක් මත්ද්රව්ය පැකේජ සම්පූර්ණයෙන්ම රඳවා තබා ගැනීම වෙනුවට, අදාළ ද්රව්යවල ඡායාරූප සහ අවශ්ය අවස්ථාවලදී වීඩියෝ දර්ශන ලබාගෙන මහේස්ත්රාත්වරයාට දැනුම් දීමෙන් අනතුරුව, අධිකරණ කොන්දේසිවලට යටත්ව ඒවා කඩිනමින් විනාශ කිරීමට මහේස්ත්රාත්වරයාට බලය ලබාදීමටද යෝජනා වී ඇත.
කෙසේ වෙතත්, මෙම ක්රියාවලිය ක්රියාත්මක කිරීමේදී චෝදනා ලැබූ පුද්ගලයන්ගේ හෝ සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම්වලට සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතියට හානියක් නොවන පරිදි කටයුතු කිරීම සහතික කිරීම සඳහා අවශ්ය නීතිමය විධිවිධාන හඳුන්වා දීමට නියමිත බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




