
2031 වන විට දිවයින පුරා නව පාපන්දු ක්රීඩාංගණ 40කට ආසන්න සංඛ්යාවක් ඉදිකිරීමටත් සැලසුම්
ඉදිරි වසර හතර තුළ පාපන්දු ක්රීඩාව ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ක්රීඩාව බවට පත් කිරීමේ අරමුණින් ක්රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩපිළිවෙළ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 25ක මූල්ය ආධාරයක් ලබාදීමට ජාත්යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එකඟතාව පළ කර තිබේ.
අසර්බයිජානයේ බකු නුවරදී FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ, තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වාර් උමර් යන මහත්වරුන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ ඇත.
පසුගිය වසර දෙක තුළ මෙරට පාපන්දු ක්රීඩාව ලබා ඇති ප්රගතිය අගයමින් පැවති මෙම සාකච්ඡාවේදී, ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව ජාත්යන්තර මට්ටමට රැගෙන යාම සඳහා අවශ්ය යටිතල පහසුකම් සහ මූල්ය සහයෝගය ලබාදීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.
ඒ අනුව, FIFA ආයතනය ලබාදීමට එකඟ වූ ඩොලර් මිලියන 25ක මූල්ය ආධාරය යටතේ ජාතික පාපන්දු කණ්ඩායමේ සහ යොවුන් සංචිතවල ප්රමිතිය ඉහළ නැංවීම, කාන්තා පාපන්දු ක්රීඩාව රට පුරා ව්යාප්ත කිරීම සහ දේශීය පුහුණුකරුවන් හා විනිසුරුවන් සඳහා ජාත්යන්තර පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීමට නියමිතය.
මීට අමතරව, ලබන වසරේ සිට දිවයිනේ සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන පරිදි නව පාපන්දු ක්රීඩාංගණ ඉදිකිරීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඒ යටතේ 2031 වසර වන විට ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජික ලීගයන් කේන්ද්ර කරගනිමින් නවීන පාපන්දු ක්රීඩාංගණ 40කට ආසන්න සංඛ්යාවක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම, ජාත්යන්තර ප්රමිතියෙන් යුත් අංගසම්පූර්ණ ප්රධාන පාපන්දු ක්රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.
මේ අතර, මෙරට ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා සහ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්යස්ථානයක් (National High-Performance Centre) පිහිටුවීමට ද තීරණය කර ඇත.
ක්රීඩා අමාත්යාංශය සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනය ඒකාබද්ධව ක්රියාත්මක කරන මෙම මධ්යස්ථානය සඳහා අවශ්ය තාක්ෂණික විශේෂඥ සහාය සහ මඟපෙන්වීම FIFA ආයතනය විසින් සෘජුවම ලබාදීමට නියමිතය.
ශ්රී ලංකා රජය, FIFA ආයතනය සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනය අතර ඇතිකරගත් මෙම සහයෝගීතාව හරහා ග්රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා පාපන්දු දක්ෂතා හඳුනාගෙන, ක්රීඩක ක්රීඩිකාවන්ට අවශ්ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට අපේක්ෂිතය.
ඒ අනුව, ඉදිරි වසර හතර තුළ පාපන්දු ක්රීඩාව මෙරට වඩාත්ම ජනප්රිය ක්රීඩාව බවට පත් කිරීම මෙම සංවර්ධන වැඩපිළිවෙළේ ප්රධාන අරමුණ වී තිබේ.




