
ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඊශ්රායලය ඇතුළු විදේශීය බලවතුන්ගේ සහාය ඇතිව අභ්යවකාශ මධ්යස්ථානයක් (Spaceport) පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බවට ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය චෝදනා කර තිබේ.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව, ඇමරිකා එක්සත් ජනපදයේ අභ්යවකාශ සහ ආරක්ෂක කටයුතු සමඟ ශ්රී ලංකාව සම්බන්ධ කරමින් සිටින බවට ද එම පක්ෂය චෝදනා කරයි.
ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම් වෛද්ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් මඟින් මෙම කරුණු ඉදිරිපත් කර ඇත.
එම නිවේදනයට අනුව, ශ්රී ලංකාවේ ආරක්ෂක හමුදා ඇමරිකාව ප්රමුඛ විදේශීය බලවතුන්ගේ හමුදාමය ක්රියාකාරකම් සමඟ ක්රමයෙන් ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක වෙමින් පවතින බවට කොමියුනිස්ට් පක්ෂය චෝදනා කරයි.
2017 වසරේදී අත්සන් තැබූ ඇක්සා (ACSA) ගිවිසුම, ඇමරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමඟ ඇති කරගත් ගිවිසුම් සහ මැදපෙරදිග ඇමරිකානු මෙහෙයුම් සඳහා ශ්රී ලංකා නාවික හමුදාව දායක වීම යන කරුණු එම පක්ෂය සිය චෝදනාවට පදනම් කරගෙන තිබේ.
මේ අතර, ඇමරිකානු ඉන්දු-පැසිෆික් අභ්යවකාශ බලකායේ (USSPACEFOR-PAC) නියෝජිත පිරිසක් මෑතකදී ශ්රී ලංකාවේ සංචාරයක නිරත වී නාවික හමුදා සහ ගුවන් හමුදා ප්රධානීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.
එම සාකච්ඡාවලදී අභ්යවකාශ ආරක්ෂාව සහ කලාපීය ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දෙයි.
ඊට සමගාමීව ඇමරිකානු නාවික හමුදාවට අයත් USS Canberra යුද නෞකාව ද ශ්රී ලංකාවට පැමිණ ඇති බව සඳහන් කරන එම පක්ෂය, මෙම සිදුවීම් හරහා ශ්රී ලංකාව ඇමරිකානු ආරක්ෂක ව්යුහය සමඟ වඩාත් සමීපව සම්බන්ධ වෙමින් පවතින බවට චෝදනා කර තිබේ.
විශේෂයෙන්ම ඊශ්රායලයේ සහාය ඇතිව ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ අභ්යවකාශ මධ්යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවට පළවන වාර්තා පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කරයි.
එවැනි ව්යාපෘතියක් ක්රියාත්මක වන්නේ නම් එමඟින් ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ කලාපීය භූදේශපාලනික ස්ථාවරත්වයට බලපෑම් ඇතිවිය හැකි බව එම පක්ෂයේ අදහස වී තිබේ.
ගාසා තීරයේ සහ ලෙබනනයේ හමුදා මෙහෙයුම්වලින් අනතුරුව ඊශ්රායල සෙබළුන් සඳහා ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ විවේක මධ්යස්ථාන සහ නීතිවිරෝධී ජනාවාස පිහිටුවීමට උත්සාහ දැරූ බවට ද කොමියුනිස්ට් පක්ෂය සිය නිවේදනය මඟින් චෝදනා කර ඇත.
යෝජිත අභ්යවකාශ මධ්යස්ථානය පිළිබඳ වාර්තා එවැනි උත්සාහයක තවත් පියවරක් විය හැකි බවට එම පක්ෂය සැක පළ කරයි.
කෙසේ වෙතත්, අදාළ අභ්යවකාශ මධ්යස්ථාන සැලසුම හෝ ඊශ්රායල ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා ස්වාධීනව තහවුරු වී නොමැත.
මෙවැනි අභ්යවකාශ මධ්යස්ථානයක් හෝ විදේශීය හමුදාමය ව්යාපෘතියක් ශ්රී ලංකාවේ ස්ථාපිත කිරීම මඟින් චීනය, රුසියාව සහ ඉරානය වැනි ශ්රී ලංකාව සමඟ සබඳතා පවත්වන රටවල ආරක්ෂක අවශ්යතාවලට බලපෑම් එල්ල විය හැකි බව ද කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දෙයි.
එමෙන්ම මලක්කා සමුද්රසන්ධිය දෙසට දිවෙන ජාත්යන්තර නාවික මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙවැනි ව්යාපෘතියක් බලපෑම් ඇති කළ හැකි බව එම පක්ෂය අනතුරු අඟවා තිබේ.
මෙම තත්ත්වය හමුවේ ශ්රී ලංකාව ඇමරිකාව සහ ඊශ්රායලය සමඟ පවත්වාගෙන යන හමුදාමය සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සම්පූර්ණ තොරතුරු වහාම ජනතාවට හෙළි කළ යුතු බව කොමියුනිස්ට් පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම නැගෙනහිර වෙරළ තීරයේ අභ්යවකාශ මධ්යස්ථානයක් පිහිටුවීමේ යෝජනාවක් පවතින්නේද යන්න සහ එවැනි ව්යාපෘතියකට විදේශීය රටවල් සම්බන්ධ වී සිටින්නේද යන්න පිළිබඳව රජය පැහැදිලි ප්රකාශයක් කළ යුතු බව එම පක්ෂය අවධාරණය කරයි.
ශ්රී ලංකාවේ භූමිය විදේශීය හමුදා මෙහෙයුම් සඳහා භාවිත කිරීම වැළැක්වීමට රජය ගෙන ඇති ක්රියාමාර්ග මොනවාද යන්න ද රටට හෙළි කරන ලෙස කොමියුනිස්ට් පක්ෂය ඉල්ලා තිබේ.
ශ්රී ලංකාවේ ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ස්වාධීන විදේශ ප්රතිපත්තිය ආරක්ෂා කිරීම සඳහා මෙම කරුණු සම්බන්ධයෙන් රජය විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බව එම පක්ෂය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.




