
රතු වරෙන්තු නිකුත් කර ඇති අපරාධ සැකකරුවන් 112 දෙනෙකු විදෙස් රටවල් 13ක සැඟව සිටින බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්ය පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
අද (29) පැවති “රටම එකට” ජාතික මෙහෙයුමේ ප්රගතිය පිළිබඳ මාධ්ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්ය ප්රකාශකවරයා මේ බව සඳහන් කළේය.
විදේශයන්හි සැඟව සිටින අදාළ සැකකරුවන් සහ සැකකාරියන් 2027 වසර වන විට මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

මෙම අපරාධකරුවන්ගේ නීති විරෝධී ආදායම්වල ප්රධාන මූලාශ්රයක් මත්ද්රව්ය ජාවාරම බව පෙන්වා දුන් පොලිස් මාධ්ය ප්රකාශකවරයා, එම මුදල් යොදවා උපයාගෙන ඇති දේපොළ සම්බන්ධයෙන් පොලීසියේ විශේෂ කොට්ඨාස දෙකක් මගින් පැය 24 පුරා විමර්ශන සිදුකරන බවද සඳහන් කළේය.
රුපියල් මිලියන ගණනක නීති විරෝධී දේපොළ රජයට පවරා ගැනීමට සැලසුම්
නීති විරෝධී ක්රියාකාරකම් හරහා උපයාගෙන ඇති බවට සැකකෙරෙන දේපොළ රජය සතු කර ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බවද මාධ්ය හමුවේදී අනාවරණය විය.
ඒ අනුව, 2024 වසරේදී රුපියල් මිලියන 1,490ක, 2025 වසරේදී රුපියල් මිලියන 1,549ක සහ 2026 වසරේ ඊයේ (28) දිනය වන විට රුපියල් මිලියන 1,656ක වටිනාකමින් යුත් දේපොළ රජයට පවරා ගැනීමට සැලසුම් කර තිබේ.
මෙම දේපොළ අතර රන් ආභරණ, ඉඩකඩම්, යානවාහන සහ මුදල් ඇතුළත් වන බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා පැවසීය.
මත්ද්රව්ය වැටලීම්වලින් රුපියල් බිලියන ගණනක මත්ද්රව්ය පොලිස් භාරයට
පසුගිය වසර දෙකක කාලය තුළ සහ 2026 වසරේ මේ දක්වා සිදුකළ වැටලීම්වලින් විශාල මත්ද්රව්ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණි.
ඒ අනුව, රුපියල් බිලියන 107.942ක් වටිනා හෙරොයින් කිලෝග්රෑම් 4,483ක්, රුපියල් බිලියන 121.64ක් වටිනා අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 7,129ක්, රුපියල් බිලියන 5.293ක් වටිනා ගංජා කිලෝග්රෑම් 33,277ක් සහ රුපියල් බිලියන 14.306ක් වටිනා කොකේන් කිලෝග්රෑම් 333ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මත්ද්රව්ය සම්බන්ධ වැරදි සඳහා පවතින නීතිමය දඬුවම් පිළිබඳවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය.
අයිස්, හෙරොයින් සහ කොකේන් යන මත්ද්රව්ය ග්රෑම් 5කට වැඩි ප්රමාණයක් ළඟ තබා ගැනීම, සන්තකයේ තබා ගැනීම, වෙළෙඳාම, ජාවාරම හෝ නිෂ්පාදනය සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට, පවතින නීති ප්රකාරව මහාධිකරණ නඩු විභාගයකින් අනතුරුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම හෝ මරණ දඬුවම නියම විය හැකි බව ඔහු සඳහන් කළේය.
“රටම එකට” මෙහෙයුමෙන් වසරක් තුළ සැකකරුවන් 5,743ක් අත්අඩංගුවට
2025 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ “රටම එකට” ජාතික මෙහෙයුමට මේ වන විට වසරක් සම්පූර්ණ වී ඇති අතර, එම කාලය තුළ සිදුකළ මත්ද්රව්ය වැටලීම් සහ අපරාධ මර්දන මෙහෙයුම්වල ප්රගතියද මාධ්ය හමුවේදී පැහැදිලි කෙරිණි.
ඒ අනුව, ගතවූ වසරක කාලය තුළ හෙරොයින් කිලෝග්රෑම් 2,835යි ග්රෑම් 682ක්, අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 3,550යි ග්රෑම් 750ක්, කොකේන් කිලෝග්රෑම් 297යි ග්රෑම් 135ක් සහ ගංජා කිලෝග්රෑම් 11,167යි ග්රෑම් 569ක් පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම, පසුගිය වසර තුළ විවිධ අපරාධවලට සෘජුව සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 5,743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය.
ඉන් සැකකරුවන් 450 දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ක්රියාත්මක වන බවද ඔහු අනාවරණය කළේය.
මත්ද්රව්ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම ශ්රී ලංකා පොලීසියට විශාල අභියෝගයක් වී ඇති නමුත්, එම මෙහෙයුම් සාර්ථක කර ගැනීම සඳහා ත්රිවිධ හමුදාවේ පූර්ණ සහයෝගය ලැබෙන බවද පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් පැවසීය.




