
විත්තිවාචකයට සටහන් තහනම් කරද්දී, මිලියන 6ක් වියදම් කර මාළු පෙට්ටියේ ගෙනගිය ජර්මන් රිපෝට් එකේ සාක්ෂිකරුවන් අතුරුදන්: පැමිණිලිකාර ඇමති විත්තිකරු කර නිලධාරීන් බිලිදීමේ මෙහෙයුමක ඇතුළාන්තය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියම දැඩි අවධානයකට ලක්කළ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (Immunoglobulin) නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය සහ විත්ති වාචක (Dock Statements) ඉදිරිපත් කිරීම ආරම්භ වී තිබේ. එහෙත්, නඩු විභාගය ආරම්භයේදීම මතුව ඇත්තේ ස්වාභාවික යුක්තියේ මූලධර්ම සහ සාධාරණ නඩු විභාගයක (Fair Trial) මූලික අයිතීන් බරපතළ ලෙස උල්ලංඝනය වන බවට සාධාරණ සැකසංකා මතුකරන පසුබිමකි.
විත්තිවාචකයට සටහන් බැලීම තහනම්!
නඩුව මෙහෙයවන පැමිණිලි පාර්ශ්වය වසර ගණනාවක් තිස්සේ සියලු ලිපිගොනු අධ්‍යයනය කර, දින වකවානු සටහන් කරගත් දැවැන්ත ලිපිගොනු මිටි අතැතිව අධිකරණය හමුවේ කරුණු දැක්වීය. ප්‍රධාන විමර්ශක නිලධාරී එරන්ද ලක්සිරි ඇතුළු CID නිලධාරීන් සාක්ෂි ලබාදුන්නේද එම ලිපිගොනු සහ දින වකවානු නිරන්තරයෙන් පරිශීලනය කරමිනි.
එහෙත්, විත්තිකූඩුවේ සිට තම නිර්දෝෂීභාවය ප්‍රකාශ කිරීමට සැරසෙන විත්තිකරුවන් දොළොස් දෙනාට (12) කිසිදු ලිපිගොනුවක්, දින වකවානු සටහනක් හෝ කොළ කැබැල්ලක්වත් ළඟ තබාගැනීමට අවසර හිමි නොවේ. එක් පාර්ශ්වයකට ලිපිගොනු ගොඩගසාගෙන කරුණු දැක්වීමට ඉඩදී, අනෙක් පාර්ශ්වයට සියල්ල මතකයෙන් පමණක් ප්‍රකාශ කිරීමට බලකිරීම කෙතරම් දුරට සාධාරණද? මෙය විත්තියේ අයිතිවාසිකම් සීමා කිරීමක් නොවේද යන බරපතළ ප්‍රශ්නාර්ථය මේ වන විට නීති ක්ෂේත්රයේ කතාබහට ලක්ව ඇත.

මාළු පෙට්ටියේ ගෙනගිය ‘ජර්මන් රිපෝට්’ එක සහ අතුරුදන් වූ ප්‍රධාන සාක්ෂිකරු
මෙම සමස්ත නඩුවේම මූලික පදනම වී ඇත්තේ රජයේ රෝහල් පද්ධතියට සැපයූ ද්‍රාවණය “ඖෂධීය නොවන ද්‍රාවණයක්” (Non-medicinal solution) බව ඔප්පු කිරීමයි. එම ප්‍රධාන චෝදනාව තහවුරු කිරීමට ඉදිරිපත් කෙරෙන එකම ප්‍රධාන සාක්ෂිය වන්නේ ජර්මනියේ රසායනාගාරයකින් ලබාගත් බව කියන පරීක්ෂණ වාර්තාවකි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය වූයේ මෙම සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ලියාපදිංචි රසායනාගාරයක් වෙත යොමුකළ යුතු බවයි. එහෙත් අදාළ වාර්තාව එවැනි ලියාපදිංචි ආයතනයකින් ලබාගත්තක් බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් වී නැත.
මිලියන 6ක මහජන මුදල් නාස්තිය: රජයේ මුදල් රුපියල් මිලියන 6කට අධික මුදලක් වැයකරමින්, ප්‍රධාන විමර්ශක නිලධාරියා සහ NMRA ආයතනයේ සාමාන්‍ය නිලධාරියෙකු වන අර්ජුන පද්මපෙරුම යන දෙදෙනා මාළු අසුරන රිජිෆෝම් (Styrofoam) පෙට්ටියක බහා මෙම සාම්පල ජර්මනියට රැගෙන ගොස් තිබිණි.
රසායනාගාර පරීක්ෂක වෙනුවට ෆාමසිස්ට් කෙනෙක්: පරීක්ෂණය සිදුකළ රසායනාගාර විද්‍යාඥයා වෙනුවට ඉදිරිපත් කර ඇත්තේ ඖෂධවේදියෙකුගේ (Pharmacist) දිවුරුම් ප්‍රකාශයකි.
තානාපති කාර්යාලයේ අමුතු සහතිකය: අදාළ ඖෂධවේදියාගේ විදේශ ගමන් බලපත්‍රය සත්‍ය පිටපතක් (True Copy) ලෙස සහතික කර ඇත්තේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි. ජර්මානු ජාතිකයෙකුගේ විදේශ ගමන් බලපත්‍රයක නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමේ බලය ඇත්තේ ජර්මානු ආගමන විගමන දෙපාර්තමේන්තුවට මිස ලංකා තානාපති කාර්යාලයට නොවේ.
හරස් ප්‍රශ්න ඇසීමේ අයිතිය අහිමි කිරීම: ජර්මානු භාෂාවෙන් ලියැවුණු පිටු දෙකක වාර්තාවක් ඉදිරිපත් කරමින්, එය පරීක්ෂා කළ පුද්ගලයා සාක්ෂියට නොකැඳවීම පිළිබඳ නීතිඥ විරාජ් වීරසූරිය දැඩි විරෝධය පළ කළේය. වාර්තාව සකස් කළ පුද්ගලයා අධිකරණයට නොකැඳවා, ලේඛනයක් පමණක් ලකුණු කිරීමට ඉඩදීමෙන් විත්තියට හරස් ප්‍රශ්න ඇසීමට ඇති අවස්ථාව මුළුමනින්ම අහිමි කර තිබේ.පළමු විත්තිකරුගෙන් ලක්මිණීට ප්‍රශංසා: ඥාති අසල්වැසියා බේරාගැනීමේ සැලසුමක්ද?
නඩුවේ පළමු විත්තිකාර ව්‍යාපාරිකයා තම විත්ති වාචකය ප්‍රකාශ කරමින්, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවියව අහස උසට වර්ණනා කිරීම කාගෙත් විමතියට හේතු විය. ඇය “ඉතා දක්ෂ, උතුම්, පද්ධතිය පිරිසිදු කරන නිලධාරිනියක්” ලෙස හුවාදැක්වීමට පළමු විත්තිකරු නොපැකිළිව ඉදිරිපත් විය.
මෙම ප්‍රශංසාව පිටුපස ඇති සැබෑ කතාව කුමක්ද? වාර්තා වන පරිදි පළමු විත්තිකරු සහ ලක්මිණී ගිරිහාගම මෙනවිය අතර සමීප ඥාති මෙන්ම අසල්වැසි සබඳතාවක් පවතී. ඇයගේ පියාගේ අවමංගල්‍ය උත්සවයට පවා පළමු විත්තිකරු සහභාගි වී ඇති බව අනාවරණය වේ.
චෝදනාව ඔප්පු කිරීමට ඇති එකම සාක්ෂිය වන ජර්මානු රසායනාගාර සාක්ෂිකරු ලංකාවට නොකැඳවීමත්, පළමු විත්තිකරු නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරිනියව මෙලෙස සුදුහුණු ගෑමත් අතර ඇත්තේ අහඹු සිදුවීමක්ද? නැතහොත් තිරය පිටුපසින් පළමු විත්තිකරුට ගැලවී යාමට පාර කපාදීමේ සැලසුමක්ද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතු නොවේද?
කෙහෙළියට පමණක් පහරදීම සහ ‘පැමිණිලිකරු’ චූදිතයෙකු වූ හැටි
පළමු විත්තිකරු තම විත්ති වාචකයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ CID නිලධාරීන් විවේචනය නොකර, සියලු චෝදනා සහ වෛරී ප්‍රහාර එල්ල කරන්නේ අටවැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉලක්ක කරගනිමිනි.
නොසිටි රැස්වීම් පිළිබඳ ප්රශ්නය: අදාළ තීන්දු තීරණ ගත් රැස්වීම්වල තමන් නොසිටි බව කෙහෙළිය රඹුක්වැල්ල සිය විදේශ ගමන් බලපත්‍රය සහ ලේඛන මගින් අධිකරණයට තහවුරු කර තිබේ. එසේ තිබියදී පළමු විත්තිකරු ඊට එරෙහිව කතා කරන්නේ කුමන අයිතියකින්ද?
කූට ලේඛන හඳුනාගැනීමේ ඇත්ත තත්ත්වය: මෙම ලේඛන කූට (ව්‍යාජ) ලේඛන බව නිල වශයෙන් තහවුරු කරගැනීමට රහස් පොලිසියටද (CID) විශාල කාලයක් ගතවිය. අධිකරණ වෛද්‍ය හා විමර්ශන වාර්තා ලැබෙන තුරු පොලිසියට පවා එකවර හඳුනාගත නොහැකි වූ ව්‍යාජ ලේඛනයක්, අමාත්‍යාංශ නිලධාරීන් හෝ අමාත්‍යවරයා එකවර හඳුනාගන්නේ කෙසේද?
පැමිණිලිකරු විත්තිකරු වීම: මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවට මුලින්ම සැක සිතී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසිනි. එලෙස මුල් පැමිණිල්ල දැමූ පුද්ගලයා අද අටවැනි විත්තිකරු බවට පත්කර ඇත.සියලු කුණු නිලධාරීන් පිට පටවා තාන්න මාන්න රැකගැනීමේ සෙල්ලම
ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරමකදී සැබෑ වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සමස්ත ජනතාවගේම අපේක්ෂාවයි. එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත නිලධාරීන් නොව, තමන්ගේ තාන්න මාන්න සහ උසස්වීම් වෙනුවෙන් අදක්ෂ හා පක්ෂග්රාහී ලෙස ක්‍රියාකරන නිලධාරීන් කිහිපදෙනෙකුගේ හැසිරීම සමස්ත නඩුවම විහිළුවක් බවට පත්කරමින් තිබේ.
ලක්ෂ ගණනින් මහජන මුදල් කාබාසිනියා කරමින් සකස් කළ පරීක්ෂණ වාර්තා සනාථ කිරීමට සාක්ෂිකරුවන් ගෙන ඒමට අපොහොසත් වීම, නෑදෑ හිතවත්කම් මත විත්තිකරුවන් සමග පවත්වන සබඳතා සහ නඩුව ගොනුකළ මුල් පැමිණිලිකරුවාම විත්තිකරු කර නිලධාරීන් පිට පමණක් වැරදි පැටවීමෙන් යුක්තිය ඉටුවේද?
පළමු විත්තිකාර ව්‍යාපාරිකයාගේ ගැලවුම්කාරිය වීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සූදානම් වන්නේද? නැතහොත් ස්වාභාවික යුක්තියේ නාමයෙන් මෙම සියලු ප්‍රශ්නාර්ථයන්ට අධිකරණය හමුවේ සාධාරණ පිළිතුරු ලැබෙනු ඇත්ද යන්න සමස්ත රටම විමසිල්ලෙන් බලා සිටියි.




