
මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙරට ආර්ථික වර්ධනයට බාධා එල්ල විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පොලී අනුපාත ඉහළ දැමීමෙන් ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව සීමා වන අතර, එමඟින් අපේක්ෂිත ආර්ථික වර්ධනය සහ සංවර්ධනය තවදුරටත් මන්දගාමී විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

මහ බැංකුව උද්ධමනය සියයට 9ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ඉල්ලුම පාලනය කිරීම සඳහා ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව සීමා කිරීමට පොලී අනුපාත ඉහළ දමන බවට තර්ක කරන බව මන්ත්‍රීවරයා පැවසීය.
එහෙත් එවැනි පියවරක් හරහා අපේක්ෂිත ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යා හැකි බව ඔහුගේ අදහසයි.
මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.7ක් ලෙස වාර්තා වුවද, එම අගයෙන් සියයට 0.7ක දායකත්වයක් බදු ආදායමෙන් ලැබී ඇති බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය. ඒ අනුව, ආර්ථික වර්ධන දත්ත නිසි ලෙස විශ්ලේෂණය කළ විට බදු ආදායමෙන් ලැබුණු දායකත්වය ද සැලකිල්ලට ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
“මහ බැංකුව දිගින් දිගටම කියන දේ තමයි දැන් උද්ධමනය 9%ට යනවා. ඒ නිසා ඉල්ලුම පැත්තෙන් උද්ධමනය පාලනය කිරීම සඳහා මිනිස්සුන්ට වියදම් කරන්න තියෙන ප්‍රමාණය අඩු කරන්න පොලී අනුපාත ඉහළ දානවා කියලා. එතකොට ඕකෙන් වෙන්නේ අර බලාපොරොත්තු වෙන වර්ධනය, සංවර්ධනය තවදුරටත් පහළට බහිනවා.
ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා දන්නේ නැති දෙයක් තමයි ආර්ථික වර්ධනය 4.7ක් කියලා කිව්වට, ඕකෙන් 0.7 තියෙන්නේ බදු. එතකොට මේ බදු හරහා විශාල විදිහට ආර්ථිකය වර්ධනය වෙලා තියෙනවා කියන එක තමයි ඇත්ත වශයෙන්ම දත්ත ටික හරියට විශ්ලේෂණය කරගත්තොත් කෙනෙකුට පේන්නේ. ඉතින් මට පේන්නේ බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය, ජනතාවට ඒ වර්ධනයේ ප්‍රතිඵල බෙදී යෑම තවදුරටත් ප්‍රමාද වෙන එක තමයි වෙන්නේ…”
මන්ත්‍රීවරයාගේ අදහස අනුව, පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය පමණක් නොව, එහි ප්රතිලාභ ජනතාව වෙත බෙදී යෑමද ප්‍රමාද විය හැකිය.




