
රටවල් අතර ඉන්ධන සහ ගෑස් මිල සංසන්දනය කිරීමේදී ඒ ඒ රටවල ඒක පුද්ගල ආදායම, ජනතාවගේ දෛනික හා පැයක වැටුප් මෙන්ම ජීවන තත්ත්වයද සැලකිල්ලට ගත යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉහළ ඒක පුද්ගල ආදායමක් සහිත අයර්ලන්තය, නෝර්වේ, සිංගප්පූරුව, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ෆින්ලන්තය සහ ප්‍රංශය වැනි රටවල ඉන්ධන මිල ශ්‍රී ලංකාවේ මිල සමඟ සංසන්දනය කිරීම සාධාරණ නොවන බවට මාධ්‍යවේදියකු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම, අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශයේ අරමුණ වූයේ ලෝකයේ දියුණු රටවල් ඉන්ධන මිල ඉහළ දැමුවද, ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා හමුවේ ජනතාව මත තවදුරටත් බර පැටවීමෙන් වැළකීම සඳහා එම මිල වැඩිවීමේ බලපෑම රජය විසින් දරාගත් බව පෙන්වා දීම බවද වසන්ත සමරසිංහ පැවසීය.
“සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා කියන්න උත්සාහ කළේ අපිට වැඩි කරන්න පුළුවන්කම තියෙද්දී, වැඩි කරන්න උවමනාවක් තිබුණත්, අපි වැඩි නොකර ඒක රජයක් විසින් දරා ගත්තා. ලෝකයේ දියුණු රටවල් වැඩි කළත්, අපිට බැරි වුණත්, අපි ආර්ථිකය ඇතුළේ දුෂ්කරතා තිබුණත්, අපි එක දරා ගත්තා කියලා. ඒක සමාජගත වෙච්චි ක්රමයේ වැරැද්දක් තියෙනවා. ජනතාවට අපි සහනයක් දුන්නා කියලා එතුමා කියන්න උත්සාහ කළේ.”
සියත රූපවාහිනියේ විකාශය වූ දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.




