
“අනුරටත් වඩා හොඳින් හොරු අල්ලන්න මම සූදානම්” යැයි හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
වර්තමාන ආණ්ඩුවේ ඇතැම් දුර්වලතා පැවතියද, එය දූෂණයට සහ වංචාවට එරෙහිව කටයුතු කරන බවත්, පෙර පැවති ආණ්ඩුවල දූෂිතයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුවට සිය නිල කාලය සම්පූර්ණ කිරීමට තමන්ගේ පූර්ණ ආශීර්වාදය හිමි වන බවද ෆොන්සේකා ප්රකාශ කළේය.
කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව වෙනුවට වෙනත් පාලනයක් බලයට පත්වුවද, රටේ අතීතයේ පැවති විනාශකාරී දේශපාලන පක්ෂවලට යළි බලය හිමි නොවිය යුතු බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට වඩා හොඳින් රට ඉදිරියට ගෙන යා හැකි බලවේගයකට ඉදිරියේදී බලය හිමි විය යුතු බවද ඔහු පැවසීය. එසේ නොවුණහොත් රට නැවතත් පැරණි විනාශකාරී මාවතට ඇද වැටීමේ අවදානමක් පවතින බව ෆොන්සේකා පෙන්වා දුන්නේය.
වත්මන් ආණ්ඩුවෙන් පසුව බලය ලබාගැනීම සඳහා විකල්ප දේශපාලන බලවේගයක් තමන් විසින් ගොඩනඟන බවද ඔහු සඳහන් කළේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව ප්රකාශ කළේ සිය පක්ෂය සංවිධානය කළ ජනහමුවක් අමතමිනි.




