
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා සඳහන් කළේ, දූෂණයේ වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාව දූෂණයේ තත්ත්වය අනුව රැඳී සිටින්නේ ලෝකයේ රටවල් 180ක් අතර 121වැනි ස්ථානයේ බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ලංකාවේ බොහෝ පුරවැසියන්ගේ අවිවෘත ක්‍රියාකාරිත්වය රටේ දූෂණය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවත්, සමහර රාජ්‍ය ආයතනවලදී අල්ලස් නොදෙමින් සේවාවක් ලබාගැනීම දුෂ්කර බවත්ය.

දූෂණ විරෝධී පනත පිළිබඳ උතුරු මැද පළාතේ රාජ්‍ය නිලධාරීන් සඳහා පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩමුළුවකදී මේ අදහස් ප්‍රකාශ කරන ලදී.
රංග දිසානායක මහතා මෙසේද පැවසීය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය රටවල් 180ක් අරගෙන දූෂණය පිළිබඳව නිර්ණායකයක් හදනවා. දූෂණය අඩුම රට අංක එක නම් දූෂණය වැඩිම රට අංක 180 ලංකාව ඉන්නේ එකසිය විසි එකේ. සමහර ආයතනවලින් අද සල්ලි නොදී වැඩ කරගන්න බැහැ. අල්ලසට ලේබල් වැදිච්ච ආයතනත් දේශන තියන්න එන්න කියනවා. මං ඇහුවා මොකටද එන්න කිව්වේ කියලා. අල්ලස් ගත්තම වෙන්නෙ මොනවද කියලා දන්නේ නැද්ද කියලා ඇහුවා. ඒ නිසා මගේ දේශනා අනවශ්‍යයි කිව්වා. තමන් ගෙදර ගිහිල්ලා රෑට නිදාගත්තම මොකද කළෙ කියලා හිතා බලන්න කියලා කිව්වා. කීයක් ගත්තද කාගෙන්ද ගත්තේ කියල හිතන්න කියලා.
මීට මාස තුන හතරකට ඉස්සෙල්ලා මෝටර් රථ පවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුගේ කබඩ් එකේ තිබිලා ලක්ෂ 41ක් හොයා ගත්තා ගත්තා. ඒ සතියේ අල්ලසේ කලෙක්ෂන් එක මේ ඔක්කොම සිකුරාදට බෙදා ගන්නවා. කෝ ඒ ඒකකයේ දූෂණ විරෝධීන්. ඒක තමයි මේකෙ ඇත්ත තත්වය.



