
දෙනෝ දාහක් බලා සිටියදී ඊයේ (04දා) පෙරවරුවේ අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිටදී අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති මිරන්ත වරුසවිතාන මහතා ඝාතනය කිරීම එම දේවාලයේ පැවති ආරවුලක් මත පාතාල කල්ලියක් සිදුකර ඇති බවට විමර්ශනවලින් හෙළිවී තිබේ. මෙහිදී මියගොස් ඇති මිරන්ත අම්බලන්ගොඩ පාතාල ප්‍රබලයකු වන කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා ද වේ.

මෝදර දේවාලයේ ප්‍රධාන කපු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කෝවිලේ අර්බුදයක් උද්ගත වී තිබූ බවද මේ වනවිට හෙළිව තිබේ.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී නමැති පාතාල නායකයා විසින් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයාගත් රුපියල් තිස්තුන් කෝටි හැටහය ලක්ෂයක මුදල් අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ බැංකු ගිණුමක තිබී සොයා ගැනීමෙන් පසු එම කපු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම මුදල් සමග කපු මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඔත්තු ලබා දුන්නේ මෙම පුද්ගලයා විසින් යැයි වරදවා වටහාගෙන ඔහු ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
එහෙමත් නැතිනම් අම්බලන්ගොඩ මෝදර දේවාලයේ සහ ලොකු පැටීගේ පාතාල කල්ලිය අතර තිබෙන රහස් මිලන්ත වරුසවිතාන (55) නමැති ඝාතනයට ලක්වූ පුද්ගලයා හරහා හෙළි වී ඇතැයි සැක සිතා ඔහු මරා දමන්නට ඇති බවට සැකයක් මතු වී ඇත.
කෙසේ වෙතත් මෙම ඝාතනයට ආසන්නම හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි 55 හැවිරිදි මිලන්ත වරුසවිතාන නමැති අයකු බව පොලිසිය පවසයි. මොහු කරන්දෙණිය සුද්දා නමැති පාතාල සාමාජිකයාගේ මස්සිනා වෙයි.
අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මිලන්ත වරුසවිතාන බහුදින ධීවර යාත්‍රා කීපයක හිමිකරුවෙකි.
ඊයේ (04දා) උදේ 10.30ට පමණ මිලන්ත සිය යතුරුපැදියෙන් යමින් සිටියදී අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිටදී රතු පැහැති මෝටර් රථයක පැමිණි පාතාල කුලී ඝාතකයන් පිරිසක් මි.මී. 9 ගිනි අවියකින් මෙම ප්‍රහාර එල්ල කර ඇත.
දෙනෝදාහක් දෙනා බලා සිටියදී මිලන්තට වෙඩි තැබූ පාතාල කුලී ඝාතකයන් පලාගොස් තිබිණි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මිලන්ත බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඔහුගේ මුහුණට සහ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 4 ක් එල්ලවී තිබිණි.
මේ අතර ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් ඔවුන් පැමිණි මෝටර් රථය කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
මෙම මෝටර් රථයේ හිමිකරු කව්දැයි යන්න සොයා විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ මෙසේ ඝාතනයට ලක්වූ මිලන්ත වරුසවිතාන පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කර පරාජයට පත්වූ අයෙකි.
අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ප්‍රධාන කපු මහතා සමග සබඳතා පැවැත්වූ ලොකු පැටී නමැති පාතාල නායකයා දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කර තිබිණි.
ප්‍රධාන කපු මහතා සමග සමීප සබඳතා පැවැත්වූ ලොකු පැටී පසුව ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය හරහා උපයන මුදල් කපු මහතාගේ බැංකු ගිණුම්වල තැන්පත් කර තිබේ.
ලොකු පැටී නමැති පාතාල නායකයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකදී මෙම කපු මහතා සමග ඔහු පැවැත්වූ සමීප සබඳතා පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.
ඒ අනුව කපු මහතා අත්අඩංගුවට ගෙන ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී ලොකු පැටීට අයත් රුපියල් තිස් තුන් කෝටි හැටහය ලක්ෂයක මුදල් හමුවී තිබිණි.
මෙම කපු මහතා අත්අඩංගුවට ගැනීමත් මුදල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත්වීමත් නිසා දේවාලයේ අර්බුදයක් ඇතිවී තිබිණි.
මිලන්ත වරුසවිතාන ඝාතනයට එම ආරවුල හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. පොලිස් කණ්ඩායම් 4 ක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.




