
අයිස්, හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් රෝහල් ගත වන සංඛ්‍යාවේ වර්ධනයක් මෑතකාලීනව වාර්තා වන බවත් රෝහල් ගතවන සංඛ්‍යාවෙන් සියයට 60ක් පමණ මානසික ආතතියෙන් පෙළෙන බව සිදු කර තිබෙන සමීක්ෂණවලදී තහවුරුවී ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම වැඩිහිටියන්ගෙන් වැඩි පිරිසක්ද මානසික රෝගවලින් පෙළෙන බව සමීක්ෂණවලින් හෙළිවී තිබෙන බවත් මානසික රෝගවලට, සමාජ ආර්ථික බලපෑමට සාපේක්ෂව විෂ මත්ද්‍රව්‍ය භාවිතය බලපා තිබෙන බවත් පැවැසීය. ළමා සහ මාතෘ සෞඛ්‍ය සංරක්ෂණය සමාජ අවශ්‍යතාවයට සාපේක්ෂව පහළ යමින් තිබුණ ද, මානසික සෞඛ්‍ය සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවත් බෝ නොවන රෝග, වයස්ගත ජනගහනය ඉහළ යෑම, පිළිකා රෝග වර්ධනය, හදිසි අනතුරු ඉහළ යෑම ඉතාමත් අවදානම් තත්ත්වයකට පැමිණ තිබෙන බව ද හෙතෙම පැවැසීය.
සිදු කළ සමීක්ෂණ අනුව 2030 වසර වන විට සමස්ත ජනගහනයෙන් 04 – 01 අයකුම වැඩිහිටි කාණ්ඩයට පත්වන අතර ඊට සාපේක්ෂව වැඩිහිටියන්ට අවශ්‍ය සහන සේවා සැපයීමත් රැකබලා ගැනීමත් ඉහළ යන බවත් ඩිමෙන්ෂියා වැනි මානසික රෝග තත්ත්වයන් ද ඉහළ යනු ඇති බවත් පැවැසීය. සිදුවන මරණවලින් 89% ක්ම බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අතර අධික රුධිර පීඩන තත්ත්වයෙන් වසරකට 60000 ක් පමණ ආඝාතයට පත්වන අතර ඉන් 4000ක් පමණ මියගොස් 54000 ක් පමණ පුනරුත්ථාපනය වනු පිණිස සමාජගත වන බව පැවැසීය.
වයස අවුරුදු 30 හෝ ඊට වැඩි ජනගහනයෙන් 31.2% දියවැඩියාවෙන් පෙළෙන බවත් මිලියන 4.2 පමණ වන එම සංඛ්‍යාවෙන් වසරකදී දියවැඩියාව ආශ්රිත රෝගයෙන් 10000 පමණ මිය යන බවද මෙරට ජනතාව අතර ශීඝ්‍රයෙන් වර්ධනය වන මානසික සෞඛ්‍ය ගැන සැලකුවහොත් ජනතාවගෙන් සෑම 10 දෙනෙකුගෙන් 01 අයකුටම කිසියම් මානසික රෝගයක් ඇතැයි සොයා ගෙන තිබෙන බව පැවැසීය.
මානසික රෝග සඳහා රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 37000 ක් පමණ බවත් එය ජනගහනයෙන් 2%ක් පමණ බවත් හෙතෙම කීවේය.




