
2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට ජුනි 09 වැනිදා දක්වා වූ කාලය තුළ ශ්රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 8ක පමණ අවප්රමාණ වීමක් පෙන්නුම් කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය 2025 වසරේදී ද රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 5.6කින් බාල්දු වූ අතර, මෙම වසරේ මුල් මාස දෙකේදී පමණක් සියයට 0.2ක සුළු අගය ඉහළ යෑමක් වාර්තා වී තිබුණි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන්, වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු විශේෂ වැඩසටහනකදී මේ බව අනාවරණය විය.
මහ බැංකුව පෙන්වා දෙන්නේ ඉන්ධන සහ වාහන ඇතුළු භාණ්ඩ සඳහා අධික ආනයන වියදමක් වැය වීම මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්රවලින් විදේශ විනිමය රට තුළට ගලා ඒම අඩු වීම රුපියල පිරිහීමට ප්රධාන හේතු වූ බවයි.
මේ අතර රුපියල තවදුරටත් අවප්රමාණය වනු ඇතැයි අපේක්ෂාවෙන් අපනයනකරුවන් තමන් උපයන ඩොලර් ආදායම් රුපියල් බවට පත් කිරීම ප්රමාද කිරීමත්, ආනයනකරුවන් සිය ඇණවුම් කල්තියාම ඉහළ දමා ඩොලර් මිලදී ගැනීම වැඩි කිරීමත් මීට සෘජුවම බලපා ඇත.
එසේම රජයේ සුරැකුම්පත් සහ කොළඹ කොටස් හුවමාරුව හරහා විදේශීය ආයෝජන රටින් පිටතට ගලා යාම ද මෙලෙස රුපියලේ අගය පහත වැටීමට හේතු වී තිබේ.
මෙම කාලසීමාව තුළ ශ්රී ලංකා රුපියල සියයට 8කින් අවප්රමාණය වෙද්දී, කලාපීය අනෙකුත් රටවල මුදල් ඒකක ද ඩොලරයට සාපේක්ෂව අවප්රමාණය වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව ඉන්දුනීසියානු රුපියල සියයට 7.9කින් ද, ඉන්දියානු රුපියල සියයට 6.2කින් ද, නේපාල රුපියල සියයට 6කින් ද, පිලිපීන පෙසෝ සියයට 4.6කින් ද, තායිලන්ත බාත් සියයට 4.1කින් සහ මැලේසියානු රින්ගිට් සියයට 0.1කින් ද ඩොලරයට සාපේක්ෂව බාල්දු වී ඇත




