
තායිවාන රජය විසින් සිය වීසා ප්‍රතිපත්තිය යාවත්කාලීන කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා සංචාරක වීසා නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, සංචාරක අරමුණු සඳහා නොවන විශේෂිත කාණ්ඩ යටතේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලාංකිකයන්ට තවදුරටත් අවස්ථාව පවතින බව තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම කාණ්ඩ යටතේ වීසා අයදුම් කරන පුද්ගලයන් ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි තායිවාන ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානය හෝ සිංගප්පූරුවේ පිහිටි තායිවාන නියෝජිත කාර්යාලය වෙත සිය අයදුම්පත් යොමු කළ යුතුය.
වීසා අයදුම් කිරීමේදී තායිවානයේ සිටින ඇපකරුවෙකු විසින් ලබාදෙන සහතික කළ ඇප ලිපියක් සහ ඔහුගේ අනන්‍යතා පත්‍රයේ පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මීට අමතරව, අයදුම්කරු විසින් විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්, පොලිස් වාර්තාවක් මූල්‍ය ශක්තිය සනාථ කරන ලියකියවිලි, නවාතැන් පහසුකම් පිළිබඳ තොරතුරු සහ ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත ද ඉදිරිපත් කළ යුතුය.
සියලුම අයදුම්කරුවන් සිය අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර අවශ්‍ය සියලුම ලේඛන නිසි පරිදි සකස් කර ඇති බවට තහවුරු කර ගන්නා ලෙස තායිවාන බලධාරීන් වැඩිදුරටත් දන්වා සිටියි.




