
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින මූල්‍යමය අභියෝගයන් හමුවේ වුවද, ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවලට වැඩිපුර ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන පරිදි වඩාත් සාධාරණ අන්තර්ජාතික ක්‍රිකට් තරග කාලසටහනක් සකස් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පමණක් සීමාවූවක් නොවන බවත්, එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාකච්ඡා සහ සමස්ත ලෝක ක්‍රිකට් ප්‍රජාව අතර නිරන්තරයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවත් සංගක්කාර පෙන්වාදෙයි.
“මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විතරක් නෙමෙයි, සමස්ත ලෝක ක්‍රිකට් ක්රීඩාවටම බලපාන ගැටලුවක්” යැයි ඔහු සඳහන් කළේය.
ලෝක ටෙස්ට් ශූරතාවලිය (World Test Championship) හඳුන්වාදුන්නේ මෙම තරග රටාවට ඉහළ වටිනාකමක් ලබාදීමට වුවද, වර්තමාන අනාගත සංචාරක වැඩසටහන මගින් සෑම රටකටම සමාන හෝ අවම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ලැබෙන බව තහවුරු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය. මීට පෙර තරගාවලියකට අවම වශයෙන් ටෙස්ට් තරග 3ක් ඇතුළත් කිරීම ගැන සාකච්ඡා වූ නමුත්, වර්තමානයේ ඇතැම් රටවල් එක් ටෙස්ට් තරගයක් පමණක් පවත්වන තත්ත්වයට පත්ව ඇති බව ඔහු පෙන්වාදෙයි.
“වත්මන් ලෝක ක්‍රිකට් සන්දර්භය තුළ ප්රමුඛ පෙළේ රටවල් 3ක් හෝ 4ක් හැරෙන්නට, අනෙක් රටවලට ටෙස්ට් ක්‍රිකට් හරහා ලැබෙන ආදායම ඉතාම අඩුයි” යනුවෙන් ප්‍රකාශ කළ සංගක්කාර, ටෙස්ට් වරම් ලැබුවද වසරකට ඉතා සීමිත තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වැනි රටවල් උදාහරණයට දක්වමින්, ටෙස්ට් තරග පැවැත්වීම ඇතැම් ක්‍රිකට් මණ්ඩලවලට මූල්‍යමය වශයෙන් දැරිය නොහැකි මට්ටමට පත්වීමේ අවදානමක් ඇති බවට ද අනතුරු ඇඟවීය.
එමෙන්ම, අනෙකුත් තරග රටාවන් ක්‍රීඩා නොකර ටෙස්ට් ක්‍රිකට් සඳහාම විශේෂඥ වූ ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් තරග අවස්ථා නොලැබෙන්නේ නම්, ඔවුන්ට සාර්ථක වෘත්තීය ගමනක් පවත්වාගෙන යෑමට නොහැකි වීම පිළිබඳවද ඔහු කනගාටුව පළ කළේය. එම නිසා අනෙකුත් කෙටි තරග රටාවලින් ලැබෙන ආදායම ටෙස්ට් ක්‍රිකට් ගොඩනැගීමට යොදා ගන්නේ කෙසේද යන්නත්, දීර්ඝතම තරග රටාව ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්නත් පාලකයින් විසින් සලකා බැලිය යුතු බව ඔහු පැවසීය.
ටෙස්ට් තරගාවලියක් ආරම්භ වීමට බොහෝ කලකට පෙර සිටම එය නිසි ලෙස ප්‍රචාරණය කිරීමේත්, දක්ෂ ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේත් වැදගත්කම සංගක්කාර අවධාරණය කළේය. T20 සහ එක්දින තරගවල විදහා දක්වන තාරකාවන්ට හා සමානවම ටෙස්ට් තරගවල දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ද අගය කළ යුතු බවත්, ඔවුන්ගේ දක්ෂතා ඇසුරෙන් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වන පරිදි කතාබහක් නිර්මාණය කළ යුතු බවත් ඔහු පැවසීය.
අන්තර්ජාතික තරග කාලසටහනේ පවතින අසමානතාවන් පෙන්වා දුන් සංගක්කාර, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ සාම්ප්‍රදායික තරග රටාවන් පවත්වාගෙන යන අතරතුර, ඉන්දියාව ලබාදෙන විශාල වාණිජමය වටිනාකම නිසා අනෙකුත් රටවල් වැඩිපුර ඉන්දීය සංචාර ලබාගැනීමට උත්සාහ කරන බව සඳහන් කළේය. මෙවැනි වාණිජමය වශයෙන් ප්‍රබල කණ්ඩායම්වල සංචාර, ක්‍රිකට් මණ්ඩලවල මූල්‍ය පැවැත්මට අත්‍යවශ්‍ය වී ඇති බවද ඔහු පැවසීය.
මීට ක්ෂණික විසඳුම් නොමැති වුවද, සෑම රටකටම ප්‍රමාණවත් පරිදි ටෙස්ට් තරග ලබාගැනීම සඳහා ජාතික, කලාපීය සහ අන්තර්ජාතික මට්ටමින් පියවර ගතයුතු බවත්, ඉදිරි ටෙස්ට් තරග කාලසටහන් සකස් කිරීමේදී ශ්‍රී ලංකාව ඊට බලපෑම් කළයුතු බවත් සංගක්කාර ප්‍රකාශ කළේය.
“අපට ඉදිරි ටෙස්ට් කාලසටහන වඩාත් සාධාරණ එකක් බවට පත්කිරීමට බලපෑම් කරන්න පුළුවන් නම් සහ වැඩිපුර ටෙස්ට් තරග ලබාගැනීමට අනෙක් රටවල් සමඟ සාකච්ඡා කරගත හැකි නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් ශක්තිමත් වේවි” යැයි පැවසූ සංගක්කාර, එක්දින සහ T20 තරග රටාවලින් දිගින් දිගටම ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකාව ප්‍රබල ටෙස්ට් කණ්ඩායමක් ලෙස රැඳීසිටීම අනිවාර්ය බවද අවධාරණය කළේය.




