
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ධාවන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති දූෂණ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා තම මාමණ්ඩිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු ලසිත් මාලිංගගේ බිරිඳගේ පියා බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පළ කිරීම් සහ කතාබහක් පැතිර ගොස් තිබුණි.
ඊට ප්‍රතිචාර දක්වමින් ලසිත් මාලිංග සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, රේණුක පෙරේරා මහතාට සිටින්නේ පිරිමි දරුවන් දෙදෙනෙකු පමණක් බවයි.
එමෙන්ම තම නම අදාළ සිදුවීමට සම්බන්ධ කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසද මාලිංග ඉල්ලා තිබේ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තම සැබෑ මාමණ්ඩිය මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන බවයි.
රේණුක පෙරේරා රක්ෂිත බන්ධනාගාරගත කිරීම
මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා මගී ප්‍රවාහන බලපත්‍ර 56ක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව නිකුත් කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ බලපත්‍ර නිකුත් කිරීමේදී නීත්‍යානුකූල ක්‍රමවේද සහ 2014 වසරේ කැබිනට් තීරණයක නිර්දේශ උල්ලංඝනය කර ඇති බවත්, වාර්ෂික බලපත්‍ර ගාස්තු නියමිත ආකාරයට අයකර නොගැනීම සම්බන්ධයෙන් චෝදනා පවතින බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් රේණුක පෙරේරා මහතා සැප්තැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට** නියෝග කර ඇත.
මෙහි සඳහන් චෝදනා සම්බන්ධයෙන් රේණුක පෙරේරා මහතා වරදකරු වී ඇති බවක් වාර්තා වී නොමැති අතර, නඩු කටයුතු සහ විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතී.




