
මහජන දේපළ කොල්ලකෑ බවට තමන් චෝදනා කරන පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක වෙමින් පවතින බවත්, එම තත්ත්වය හමුවේ තමන් ඇතුළු පිරිස තවමත් රාත්රියට පවා දැඩි විමසිල්ලෙන් සිටින බවත් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා පවසයි.

ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ අතීතයේ මහජන දේපළ කොල්ලකෑ බවට චෝදනා එල්ල වූ පිරිස් සම්බන්ධයෙන් මේ වන විට “දිට්ඨධම්මවේදනීය කර්මය” පලදෙමින් පවතින බවයි.
“අපි ඇස් දෙක පියවන මොහොතටත් මේ රටේ මහජන දේපළ කොල්ල කෑවා. අපි තාමත් නිදාගන්නේ රෑට ඇස් දෙක ඇරගෙන,” යනුවෙන් ඔහු ප්රකාශ කර තිබේ.
එමෙන්ම, “දැන් ඇවිල්ලා තියෙන්නේ තිත්තයාගේ වාරේ” යනුවෙන්ද නගරාධිපතිවරයා සඳහන් කර ඇත.
මේ අතර, නගර සභා පාලනය සම්බන්ධයෙන් සමාජයේ ඇතැමුන් තුළ පවතින අදහස් පිළිබඳවද ඔහු අදහස් පළ කර තිබේ.
තමන් නගර සභාවෙන් ආහාර ලබා නොගෙන නිවසින් ආහාර රැගෙන එන බවත්, මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් තමන් අවධානයෙන් කටයුතු කරන බවත් රංජන් ජයලාල් මහතා සඳහන් කර ඇත.
නගරාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ මහජන දේපළ හා මුදල් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීම පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගේ වගකීමක් බවයි.




