
ඉදිරි අයවැය යෝජනා මගින් බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

දුම්බර-බෝගම්බර බන්ධනාගාරය සහ පල්ලෙකැලේ විවෘත බන්ධනාගාරය ආවරණය වන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව, දුම්බර බන්ධනාගාර නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී බන්ධනාගාර නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.
මේ අතර, අමාත්‍යවරයා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කර ඇති අතර, එහිදී රැඳවියන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත.
බන්ධනාගාර සඳහා ඒකාබද්ධ හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණයක්
උද්ගත විය හැකි ගැටුම්කාරී හෝ හදිසි තත්ත්වයන් හමුවේ කඩිනම් හා ඒකාබද්ධ ප්‍රතිචාරයක් ලබාදීම මෙන්ම රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීම සඳහා සියලුම බන්ධනාගාර ආවරණය වන පරිදි මෙවැනි ඒකාබද්ධ යාන්ත්‍රණ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, නාවික හමුදාව, ගුවන් හමුදාව, ජල සම්පාදන මණ්ඩලය සහ ගිනි නිවන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් හදිසි අවස්ථාවලදී කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට හැකි පද්ධතියක් ස්ථාපිත කිරීම මෙහි අරමුණ වී තිබේ.
එමෙන්ම රැඳවියන්ගේ සුබසාධනයට අදාළ කටයුතු සම්බන්ධයෙන්ද ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට මෙම නව යාන්ත්‍රණය හරහා අපේක්ෂා කෙරේ.




