
වොෂිංටන් — ස්වීඩනයෙන් අලුතින්ම කාන්දු වූ තොරතුරු මඟින් ජාත්‍යන්තර එයාර්බස් (Airbus) ගනුදෙනුවලට සම්බන්ධ අලුත් ඩොලර් මිලියන ගණනක මුදල් විශුද්ධිකරණ චෝදනා එළිදක්වා ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව හරහා ගමන් කළ මූල්‍ය ප්රවාහයන්ගේ ජාලය දෙසට නැවත වරක් ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබේ.
එයාර්බස් සමාගමට අදාළ පරීක්ෂණවල මුලින්ම සඳහන් වූ මූලික මුදල ඩොලර් මිලියන 2 ක් පමණ වුවද, මෙම ගනුදෙනුවල සමස්ත වටිනාකම ඩොලර් මිලියන 54 ක් තරම් ඉහළ අගයක් විය හැකි බව නවතම වාර්තා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා රුපියල්වලින් අතිදැවැන්ත මුදලක් වන මෙම මුදල්, 2008 වසරේ සිට පැවැති ගිණුම් ජාලයක් හරහා ගමන් කර ඇති අතර, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එනම් 2013 වසරේ සිට ශ්‍රී ලංකාවේ ගිණුම්වලට ඩොලර් මිලියන ගණනින් දැවැන්ත ලෙස මුදල් තැන්පත් වී ඇත.

එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණ වාර්තා පෙන්වා දෙන්නේ මෙම පරීක්ෂණවලට මුල පිරී ඇත්තේ “නගර නැංවීමේ වැඩසටහන” (Cities Upliftment Programme – CPCU) ලෙස හඳුන්වන වංචනික ආයෝජන ව්‍යාපෘතියකින් බවයි. එය නිව්යෝර්ක් ෆෙඩරල් රෙසර්ව් (New York Federal Reserve) බැංකුවේ අධීක්ෂණය යටතේ සිදුවන රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස ප්‍රචාරය කර තිබුණි. ඇමරිකානු චෝදනා නගන්නන්ට අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් ඇමරිකානු සහ ලෝකවාසී ආයෝජකයින්ට දැවැන්ත ලාභ ලබාදෙන බවට පොරොන්දු වී ඔවුන්ගේ මුදල් දේශීය හා විදේශීය ව්‍යාජ (shell) ගිණුම්වලට වංචනික ලෙස ලබාගෙන ඇත.
එක්සත් ජනපදයෙන් ලබාගත් මුදල් ශ්‍රී ලංකාවට ගලා ඒම ආරම්භ වී ඇත්තේ 2013-2014 කාලසීමාවේදී බව විමර්ශකයෝ පෙන්වා දෙති. එම මුදල් ඇසෙන්ෂන් (Ascension), මැගොන්ෆීල්ඩ් කන්ස්ට්‍රක්ෂන් (Magonfield Construction) සහ මෙම සිද්ධියේ ප්‍රධාන පුද්ගලයෙකු වන රියන්සි එඩ්වඩ්ස්ගේ බිරිඳ වන පුණ්‍යා එඩ්වඩ්ස්ට සම්බන්ධ ගිණුම්වලට තැන්පත් වී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ 2012 වසරේ සිට වසර පහක කාලයකට රියන්සි එඩ්වඩ්ස් විසින් නුවරඑළිය අශ්ව රේස් පිටිය (Royal Turf Club) බදුගෙන තිබුණි.
එක්සත් ජනපද බලධාරීන් විසින් 2016 දෙසැම්බර් මාසයේදී මෙම නීති විරෝධී මුදල් පිළිබඳව ශ්‍රී ලංකාව නිල වශයෙන් දැනුවත් කළද, දේශීය පරීක්ෂණ අඩපණ විය. එහිදී ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ රවි වෛද්යලංකාරටය. ඔහු තමන්ගේ පදවිය පෞද්ගලික නඩත්තුව සඳහා භාවිත කළ බවටත්, මෙම විමර්ශනය යටගැසීම සඳහා විශාල වශයෙන් අල්ලස් ගත් බවටත් චෝදනා එල්ල වී ඇත.
වාර්තාවලට අනුව මෙම යටගැසීම “යහපාලන” ආණ්ඩුව දක්වාම ව්‍යාප්ත වී ඇති අතර, එහිදී දේශපාලනඥ නවීන් දිසානායක විසින් රියන්සි එඩ්වඩ්ස්ට දේශපාලන ආරක්ෂාව සපයමින් රවි වෛද්යලංකාරව ද ආරක්ෂා කළ බවට චෝදනා නැඟේ. වාර්තාවලට අනුව CPCU ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දිසානායක සහ එඩ්වඩ්ස් 2016 වසරේදී ජපානයේ සංචාරය කර ඇති අතර, නුවරඑළිය අශ්ව රේස් පිටියේ බදු කාලය වසර 30 දක්වා දීර්ඝ කිරීමට ද සැලසුම් කර තිබුණි.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් 2019 වසරේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ B වාර්තාවක් ගොනු කළද, මෙම මුදල්වල ආරම්භය සහ දේශීය ආයතනික අසාර්ථකත්වයන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු තවමත් ජාත්‍යන්තර සහ දේශීය අධිකරණ ක්‍රියාවලීන් තුළ රැඳී පවතී.




