
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා ලබාදුන් නඩු තීන්දුව, සත්‍යය සහ සාධාරණත්වය සොයා යන දීර්ඝ ගමනේ එක් පියවරක් පමණක් බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.

ප්‍රහාරය පිටුපස සිටි බවට සැක කෙරෙන සැබෑ කුමන්ත්රණකරුවන් සහ ‘මහමොළකරුවන්’ නීතිය හමුවට පමුණුවන තෙක් කතෝලික සභාව ආරම්භ කළ අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද පියතුමා අවධාරණය කර තිබේ.
‘පාස්කු මහ නඩුව’ ලෙස මාධ්‍ය මගින් හඳුන්වා තිබුණද, පාස්කු ප්‍රහාරයට අදාළව විභාග වන නඩු ගණනාවක් අතරින් මෙම නඩුව එක් නඩුවක් පමණක් බව සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දී ඇත.
මෙම නඩු තීන්දුව මඟින් සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදය සහ ඔහු සමඟ ක්ෂේත්‍ර මට්ටමින් සම්බන්ධ වූ පිරිස සම්බන්ධයෙන් කරුණු තහවුරු වී ඇතත්, ප්‍රහාරය මෙහෙයවීමට අදාළ දේශපාලන හෝ වෙනත් පසුබිම් කුමන්ත්‍රණයක් පිළිබඳ කරුණු තවදුරටත් අනාවරණය කරගත යුතු බවද ඔහු සඳහන් කර තිබේ.
‘මහමොළකරුවන්’ සොයා විමර්ශන ඉදිරියට
ඉදිරි නීතිමය සහ විමර්ශන කටයුතුවලදී සහරාන් ඇතුළු කණ්ඩායම මෙහෙයවූ බවට සැලකෙන පුද්ගලයන් මෙන්ම ප්‍රහාරය පිටුපස සිටි බවට සැක කෙරෙන පාර්ශ්ව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව සිරිල් ගාමිණී පියතුමා පවසා ඇත.
එමෙන්ම, චැනල් 4 වැඩසටහන මගින් ඉදිරිපත් වූ කරුණු, හමුදා බුද්ධි අංශවල ඇතැම් මැදිහත්වීම් සහ අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවල ප්‍රගතිය පිළිබඳවද පියතුමා අවධානය යොමු කර තිබේ.
එම කරුණු සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට ගෙන යමින් සත්‍යය අනාවරණය වන තෙක් නීතිමය මැදිහත්වීම අඛණ්ඩව සිදුකළ යුතු බවද ඔහු අවධාරණය කර ඇත.
සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් අවධානය
පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක සැකකරුවකු වන හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා දීර්ඝ කාලයක් රෝහල්ගතව සිටීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මතුකර ඇති කරුණු පිළිබඳවද සිරිල් ගාමිණී පියතුමා අදහස් පළ කර තිබේ.
අධිකරණය නියෝග කර ඇති වෛද්‍ය වාර්තා හරහා මේ සම්බන්ධයෙන් පවතින කරුණු පැහැදිලි වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.
මේ අතර, අධිකරණ තීන්දුවක් හෝ දඬුවමක් සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයකට එකඟතාවක් නොමැති නම්, සමාජ මාධ්‍ය හරහා විවේචනය කිරීම වෙනුවට නීතියෙන් ලබාදී ඇති අයිතිවාසිකම් අනුව ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවද පියතුමා පෙන්වා දී තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාළ නඩු ඇතුළු රටේ ප්‍රමාද වන නඩු කටයුතු කාර්යක්ෂමව විභාග කර වින්දිතයන්ට කඩිනමින් යුක්තිය ඉටු කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත සංශෝධන නීත්‍යනුකූලව ගෙන එන්නේ නම් ඒවාට සහාය දක්වන බවද සිරිල් ගාමිණී පියතුමා සඳහන් කර ඇත.
2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, එම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ සත්‍යය අනාවරණය කර ගැනීම පළිගැනීමක් නොව, අනාගතයේදී එවැනි ප්‍රහාරයක් වැළැක්වීම සඳහා අවශ්‍ය කරුණක් බවද පියතුමා අවධාරණය කර තිබේ.




