
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්, තඹ කම්බි සහ විදුලි පහන් කණු ඇතුළු උපකරණ සොරකම් කිරීමේ සිද්ධි රැසක් වාර්තා වී ඇති බව 2024 වසරට අදාළ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ.

එම වාර්තාවට අනුව 2021, 2022 සහ 2023 යන වසර තුන තුළ අධිවේගී මාර්ගයේ සොරකම් සිද්ධි 100ක් වාර්තා වී ඇත.
ඉන් සොරකම් 11ක වටිනාකම රුපියල් මිලියන 580ක් ලෙස ගණනය කර තිබුණද, අනෙකුත් සොරකම් 89හි වටිනාකම හඳුනාගෙන නොතිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
මාර්ගයේ විදුලි රැහැන් පද්ධතිය සැලසුම් කිරීමේදී මධ්‍ය තීරුවේ එලා ඇති විදුලි රැහැන් සම්පූර්ණ කොන්ක්‍රීට් ආවරණයකින් තොරව, අඩි 3ක පමණ අර්ධ වෘත්තාකාර විෂ්කම්භයක් සහිත හියුම් පයිප්ප මගින් අර්ධ වශයෙන් ආවරණය කර තිබූ බවද අනාවරණය වී තිබේ.
ඒ හේතුවෙන් විදුලි රැහැන් ඉතා පහසුවෙන් කපා ඉවත් කර ගැනීමට හැකි තත්ත්වයක් පැවති බව ක්ෂේත්‍ර පරීක්ෂාවේදී නිරීක්ෂණය වී ඇත.
පළමු සොරකම වාර්තා වූ 2021 වසරේ සිට සුදුසු ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා නොදීම සහ වගකිව යුතු අධීක්ෂණ නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සොරකම් අඛණ්ඩව වර්ධනය වී ඇති බවද විගණන වාර්තාව පෙන්වා දෙයි.
තවද, අධිවේගී මාර්ගයේ පළමු කිලෝමීටර් 10 සඳහා සිදුකර ඇති ඇස්තමේන්තුව සමඟ සැසඳීමේදී සම්පූර්ණ මාර්ගයේ හානි පූරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 1,770 ඉක්මවන බවද එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම සොරකම් සහ හානි සඳහා වගකිව යුතු පුද්ගලයින් හඳුනාගෙන ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව විගණන වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.




