
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන, ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ ප්ලෙන්ටි වැලි (Plenty Valley) ක්රිකට් සමාජයේ පූර්ණ කාලීන පුහුණුකාරිනියක ලෙස නව වගකීමක් භාරගෙන තිබේ.

ශ්රී ලංකාව නියෝජනය කළ ප්රමුඛ පෙළේ තුන්ඉරියව් ක්රීඩිකාවක වන ඇය, සිය ජාත්යන්තර ක්රිකට් දිවියෙන් සමුගැනීමෙන් අනතුරුව පුහුණුකාරිත්වය ඔස්සේ ක්රිකට් ක්රීඩාවට දායක වෙමින් සිටින අතර, මෙම නව පත්වීම ඇගේ පුහුණුකාරී දිවියේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකේ.
මීට පෙර ක්රීඩිකාවක සහ පුහුණුකාරිනියක යන භූමිකා දෙකෙහිම කටයුතු කළ ශෂිකලා, 2026-27 ක්රිකට් තරග වාරයේ සිට ප්ලෙන්ටි වැලි ක්රිකට් සමාජයේ කාන්තා කණ්ඩායම් පුහුණු කිරීම සඳහා සිය සම්පූර්ණ අවධානය යොමු කිරීමට තීරණය කර ඇත.
ක්රිකට් ඕස්ට්රේලියා නිල වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ, පුහුණුකාරිනියක ලෙස නව අත්දැකීම් ලබාගන්නා අතරම නැඟී එන යොවුන් ක්රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට ලැබීම තමන්ට මහත් සතුටක් ගෙන දෙන බවයි.
2020 වසරේ පැවති කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්යන්තර ක්රිකට් පිටියට සමුදුන් ශෂිකලා සිරිවර්ධන, ඉන්පසුව පුහුණුකාරිත්වය පිළිබඳ දෙවන මට්ටමේ සහතිකය (Level 2 Coaching Certification) ලබාගනිමින් සිය පුහුණුකාරී දිවිය සඳහා අවශ්ය වෘත්තීය සුදුසුකම් සපුරා ගත්තාය.
අනතුරුව පළමු වරට පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්රිකට් කණ්ඩායමේ පුහුණුකාරිනියක ලෙස ද ඇය කටයුතු කළාය.
සිය පුහුණුකාරී හැකියාවන් තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ඕස්ට්රේලියාව බලා පිටත්ව ගිය ඇය, එහිදී මුලින්ම බ්රිස්බේන් නුවර වින්නම්-මැන්ලි (Wynnum-Manly) ක්රිකට් කණ්ඩායමට ක්රීඩිකාවක සහ සහකාර පුහුණුකාරිනියක ලෙස එක්වූවාය.
ඉන් අනතුරුව 2024 වසරේදී මෙල්බර්න් නුවර බොක්ස් හිල් (Box Hill) ක්රිකට් සමාජයට සම්බන්ධ වූ ශෂිකලා, 2025 වසරේදී ප්ලෙන්ටි වැලි ක්රිකට් සමාජයේ නායක-පුහුණුකාරිනිය ලෙස කටයුතු ආරම්භ කළාය.
එහිදී ක්රීඩිකාවක ලෙස තමන් සතු ජාත්යන්තර අත්දැකීම් සහ පුහුණුකාරිනියක ලෙස ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් කණ්ඩායමේ ක්රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට ඇය දායක වී තිබේ.
සිය වත්මන් භූමිකාව පිළිබඳ අදහස් දක්වමින් ශෂිකලා සිරිවර්ධන සඳහන් කර ඇත්තේ, යොවුන් ක්රීඩිකාවන්ගේ පුද්ගලික කුසලතා වර්ධනය කිරීම මෙන්ම කණ්ඩායමේ ජයග්රාහී ඉලක්ක සපුරා ගැනීම ද එකසේ වැදගත් වන බවයි.
ඒ අනුව, ක්රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සහ කණ්ඩායම තුළ ශක්තිමත්, ධනාත්මක ක්රීඩා සංස්කෘතියක් ගොඩනැගීම අතර නිසි සමබරතාවක් පවත්වා ගැනීම සිය ප්රධාන අරමුණ බව ඇය වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.
ශ්රී ලංකා කාන්තා ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් දිගු කලක් සේවය කළ ශෂිකලා සිරිවර්ධන, මේ වන විට ජාත්යන්තර මට්ටමේ පුහුණුකාරිනියක ලෙස සිය අත්දැකීම් සහ දැනුම නව පරපුරේ ක්රීඩිකාවන් වෙත ලබාදෙමින් ක්රිකට් ක්ෂේත්රයේ නව ගමනක නිරතව සිටී.




