
ලන්ඩන් බලා පියාසර කිරීමට සූදානම්ව තිබූ ශ්රීලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක්, ගුවන්ගත වීමට පෙර එහි දකුණු පස එන්ජිමට පක්ෂියෙකු ඇතුළුවීම හේතුවෙන් කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

ඊයේ (28) සිදුවූ මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති අතර, යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිතව ඉවත් කිරීමට ගුවන් සේවා බලධාරීන් පියවර ගෙන ඇත.
ශ්රීලංකන් ගුවන් සමාගම සඳහන් කර ඇත්තේ, යානය ගුවන්ගත වීම සඳහා ධාවන පථයේ ගමන් කරමින් සිටියදී දකුණු පස එන්ජිමට පක්ෂියෙකු ඇතුළුවී ඇති බවයි.
එම අවස්ථාවේ වහා ක්රියාත්මක වූ ගුවන් නියමුවන්, ආරක්ෂිත ක්රියාමාර්ග අනුගමනය කරමින් යානය ධාවන පථයේ නවතා ගැනීමට කටයුතු කර තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ යානය තුළ පුද්ගලයන් 269 දෙනෙකු සිට ඇති අතර, ඒ අතර ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකු ද සිටි බව වාර්තා වේ.
ඒ අනුව, යානයේ සිටි මගීන් 254 දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනා ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ ගුවන් යානය ඊයේ (28) පස්වරු 12.55ට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, පක්ෂියා ඇතුළුවීමෙන් යානයේ එන්ජිමට හානි සිදුවීම හේතුවෙන් නියමිත ගුවන් ගමන ක්රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර, ඒ වෙනුවට වෙනත් ගුවන් යානයක් යොදා ගැනීමට ශ්රීලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ.
ඒ අනුව, අදාළ මගීන් රැගත් වෙනත් ගුවන් යානයක් පස්වරු 4.30ට ලන්ඩන් බලා පිටත් කර හැරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම විමර්ශනයේදී යානයේ එන්ජිමට සිදුව ඇති හානිය සහ සිද්ධියට අදාළ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.




