
හෙරොයින් ග්‍රෑම් 2.20 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය.

මේ වනවිට අධිකරණය මඟහැර සැඟව සිටින එම විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කළ මහාධිකරණ විනිසුවරිය එකී වරෙන්තුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් ක්‍රියාත්මක කිරීමට ද නියෝග කළාය. පී. කේ. අප්පුහාමිලාගේ නිමල් නමැති එම විත්තිකරු හෙරොයින් තොගයක් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී 2011.5.2 වැනිදා එවකට කොටුව පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් පරීක්ෂක ධම්මික මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. රජයේ අධිනීතිඥ කලණ කොතලාවල මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය විය. නීතිපතිවරයා විසින් 2019 වසරේදී පවරා තිබූ එම නඩුව විත්තිකරු නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය ප්‍රකාරව විභාග කොට තිබිණි.




