
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සදාචාරාත්මක වටිනාකම් විනාශ කිරීමේ අරමුණින් යුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට රජයට සහ අධ්‍යාපන බලධාරීන්ට බරපතල චෝදනාවක් එල්ල කර තිබේ. මෙම චෝදනාව මූලිකවම එල්ල වී ඇත්තේ පාසල් විෂය මාලාවට හඳුන්වා දීමට යෝජිත නව ලිංගික අධ්‍යාපන වැඩසටහන සම්බන්ධයෙනි.

කාදිනල් හිමිපාණන් අවධාරණය කරන්නේ, ලබන වසරේ ජනවාරි 27 වැනිදා සිට 6 වැනි ශ්‍රේණියේ දරුවන්ගේ සිට ඉහළ ශ්‍රේණි සඳහා මෙම නව පාඩම් මාලාව ඉගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි. මෙම විෂය මාලාවට සමලිංගික සබඳතා සහ උපත් පාලනය වැනි කරුණු ඇතුළත් වන බව උන්වහන්සේ සඳහන් කරති.
“මේ අපේ දරුවන් විනාශ කිරීමට දරන උත්සාහයකි. මේ අශීලාචාර දේවල් අපේ දරුවන්ට උගන්වන්න යන්න එපා,” යනුවෙන් උන්වහන්සේ රජයෙන් සහ බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියහ.
මෙම වැඩපිළිවෙළ පිටුපස, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සදාචාරාත්මක වටිනාකම් විනාශ කිරීමට උත්සාහ කරන ජාත්‍යන්තර සංවිධාන ක්‍රියාත්මක වන බව කාදිනල් හිමිපාණෝ චෝදනා කරති.
විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) වැනි විදේශීය ආයතන මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට අරමුදල් සපයා, මෙම විනාශකාරී පොත්පත් මුද්‍රණය කර, දරුවන් නොමඟ යැවීමේ සැලැස්මක් ක්‍රියාවට නංවන බව එතුමාගේ ස්ථාවරයයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ හරහා ආගමක් හා සදාචාරයක් නොමැති බටහිර ලෝකයේ පිරිහුණු වටිනාකම් මෙරටට ගෙන ඒමට උත්සාහ දරන බවයි.
දරුවන්ට මෙවැනි සංවේදී කරුණු පිළිබඳව අවශ්‍ය දැනුම ලබා දීමේ මූලික වගකීම ඇත්තේ දෙමාපියන්ට බව අවධාරණය කරන අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ, රජය මෙවැනි පියවරවලින් වහාම වැළකී සිටිය යුතු බවත්, මෙම වැඩසටහන වහාම නවත්වන ලෙසටත් ජනාධිපතිවරයාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.




