
අපරාධයකින් උපයාගෙන විදෙස් රටවල ඇති වත්කම් නැවත ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණ පහසුකම් ලබාදීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ පවතින ස්ටාර් ආයතනයේ (Star initiative) උසස් නිලධාරීන් එකඟතාව පළකර ඇත.

අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02දා) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ තිබේ.
ඒ අනුව අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පනත යටතේ දූෂණයෙන් උපයාගත් බවට සැලකෙන විදේශීය රටවල පවතින වත්කම් නැවත පවරා ගැනීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය ලබාගැනීමට නියමිතය.
අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ ක්‍රියාදාමයට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පොලිස් කොට්ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ මූල්‍ය බුද්ධි අංශය යන ආයතනවලට අවශ්‍ය සහාය ලබාදීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ පවතින ස්ටාර් ආයතනයේ (Star initiative) එකඟතාව පළකර තිබේ.
මෙම ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීම සඳහා කාර්ය සාධක බළකායක් පත්කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර දූෂණ විරෝධී පනත, අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පනත සහ වත්කම් හා බැරකම් පනත සකස් කිරීම වෙනුවෙන් ද ඔවුන්ගේ සහාය ලබාදී තිබේ.
දූෂණයෙන් උපයාගත් වත්කම් ආපසු ලබාගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික දූෂණ විරෝධී සම්මුතිය අනුව ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ ස්ටාර් ක්‍රියාදාමය සකස්කර තිබේ.
ස්ටාර් ආයතනයේ (Star initiative) ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ Laura Pop අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක, ලෝක බැංකුවේ මෙරට රාජ්‍ය පාලනය පිළිබඳ විශේෂඥ Till Hartmann, ස්ටාර් ආයතනයේ උපදේශක Dmytro Kotlyar, ස්ටාර් ආයතනයේ විශේෂඥ Karen Greenaway යන මහත්ම මහත්මීන් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.




