
මීට පෙර පැවති ගංවතුර තත්ත්වයන්වලදී ගංගා ද්‍රෝණි හරහා වැඩි වශයෙන් සාගරයට ගලා එනු ලැබුවේ ප්ලාස්ටික් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය වුවත් මෙවර වැඩිම ප්‍රමාණයක් කාබනික ශාක කොටස්, රෙදි පිළි, ලී වර්ග, වීදුරු, ප්ලාස්ටික් බෝතල් සහ උපකරණ, පොලිතින්, සත්ව කොටස් මෙන්ම විශාල වශයෙන් කැලි කසල ටොන් ගණනාවක් සාගරයට මුසුවීම නිසා සාගර ජලය අපවිත්‍ර වී තිබේ.

මෙහිදී නකල්ස්, ශ්‍රී පාදය, වන රක්ෂිතයන්හි මෙන්ම මධ්‍යම කඳුකරයේ සිට සාගරයට ගලා එනු ලැබූ කාබනික ශාක කොටස් සාගර ජලයේ තවදුරටත් පැවතීම නිසා සාගර ජලය අපවිත්‍ර වීමේ තර්ජනයකට දක්ව ඇති බව වාර්තා වේ.
මෙහිදී කොළඹ, මීගමුව, හලාවත, යාපනය, පුත්තලම කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්ට් දූපත් මෙන්ම නැගෙනහිර පළාතේ මුහුදු තීරයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව හඳුනාගෙන ඇත.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහව යාමෙන් අනතුරුවත් ගංගා ද්‍රෝණි හා වැව් හරහා ජනතාව තවදුරටත් ප්ලාස්ටික්, පොලිතින් වැනි අපද්‍රව්‍ය මුදා හරින බැවින් එම ක්‍රියා පිළිවෙත වහාම නවතා දමන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
ඉදිරියේදී සාගරයට මුසුවන ප්ලාස්ටික් සහ කැලි කසල අවම කිරීම සඳහා මුහුදට ගලා බසින වැව් අමුණු, ඇළ දොළවල් මෙන්ම ගංගා ද්‍රෝණි හරහා ආරක්ෂිත දැල් විශේෂයක් යෙදවීමට බලාපොරොත්තු වන බව සමුදිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී සුළි කුණාටුවේ බලපෑම නිසා ඇති වූ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයේ කිලෝ මීටර් 143ක් පමණ දූෂණයට ලක්ව ඇති බැවින් එම වෙරළ තීරය පිරිසිදු කිරීම මේ දිනවල සිදුවෙමින් පවතින බව සඳහන් වේ.
මේ සඳහා මිනිස් ශ්‍රම පැය 5280ක් යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර මෙම අබලි ද්‍රව්‍යය ඉවත් කිරීම සඳහා කුලී පදනම යටතේ ශ්‍රම බලකායක් යොදා ගැනීමට කටයුතු කර තිබේ.
මේ සඳහා අවම වශයෙන් සති තුනක කාලයක් ගතවෙනු ඇති බවට විශ්වාස කරන අතර මෙහිදී එක්රැස්වන කැලිකසල හා අබලි ද්‍රව්‍ය ප්රතිශක්තීකරණය කිරීමටත් ඇතැම් ඒවා විනාශ කිරීමටත් පළාත් පාලන ආයතනයන්හි සහාය ලබා ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය බලාපොරොත්තු වන බව සඳහන් වේ.




