
සුළිකුණාටුවකට මුහුණදී දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කරන බැවින් දිව්‍ය ගැලවුම්කරුගේ උපත ඝෝෂාකාරි සැමරුම් උත්සවයක් බවට පත්කර ගැනීම සුදුසු නොවන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත්කරමින් එතුමා මේ බව කියා සිටින අතර එමගින් වැඩිදුරටත් එතුමා මෙසේ කියා සිටියි.
ලෝක ඉතිහාසය වෙනස් කළ මොහොත වන නත්තල සැමරීමට අප සූදානම් වන මේ අවස්ථාවේ මෙම ලිපිය කියවන ඔබ සැමට සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ ගැඹුරු හැඟීමකින් සුබ පතන්නට ලැබීම මහත් වූ ප්‍රීතියකි. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේ මිනිස් ස්වභාවයට ඇතුළු වූ මොහොත මෙයයි. දිව්‍යමය ගෞරවය දක්වා නැගී සිටීමට මිනිස් ස්වභාවයට හැකියාව ලැබිණි.
ඒ එසේ වුව ද පෙර ව්‍යසනයන් ගෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ අප දේශයේ සිහිනය විනාශ කර බිඳ දැමූ ව්‍යසනකාරි සුළිකුණාටුවකට මුහුණ දී අපි දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටිමු. ඔබ ද දන්නා පරිදි ආසන්න වශයෙන් පුද්ගලයන් 1000කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වී හෝ අතුරුදන්ව ඇතැයි අනුමාන කර ඇති අතර ස්වකීය නිවාස නායයෑමට හසුවී හෝ ගංවතුරට ගසාගෙන යෑම හේතුවෙන් හෝ තවත් පිරිසකට තමන් සතුව තිබූ සියල්ල අහිමි වී තිබේ. මෙම පසුබිම තුළ අපගේ සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් තවමත් දැඩි ලෙස දුක්විඳින බැවින් ශ්‍රී ලාංකිකයන් වන අපට දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ උපත ඝෝෂාකාරි සැමරුම් උත්සවයක් බවට පත්කර ගැනීම සුදුසු නොවේ. ඒ වෙනුවට මේ නත්තල අපට මෙම වේදනාකාරි තත්ත්වය පිළිබඳව මෙනෙහි කිරීමට සහ අපගේම සොයුරු සොයුරියන් වන වින්දිතයන් සහ අපගේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් යාඥා කිරීමට ද ඔවුන් තනි වී නැති බව ඔවුන්ට දැනෙන්නට උපකාර කිරීමට හැකි සැම දෙයක්ම කිරීමට ද ඔවුන්ගේ විවිධාකාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඔවුන්ට උදව් වීමට අගරදගුරු පදවිය දරන උත්සාහයට දායකවීමට ද බාහිර ආටෝපයන් අවම කිරීමට සහ ඝෝෂාකාරි එකට එක්වීම්, සාද සහ නාස්තිකාර කටයුතු සංවිධානය කිරීමෙන් වැළකීමට ද මෙම වේදනාකාරී තත්ත්වයේදී අපිට මතකයේ තබා ගැනීමට ද අවස්ථාවක් විය යුතුය. අපි එකට එක්ව ලෝකය තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමයට සාක්ෂි දරමු.
නත්තලේදී ඔබ සැමට දෙවියන් වහන්සේ ආශිර්වාද කර තාවකාලික නොවන නමුත් ගැඹුරු ප්‍රීතියක් ඔබට ලබාදෙත්වා! ඔබට සහ ඔබේ ආදරණීයයන්ට ආධ්‍යාත්මික අලුත් බලාපොරොත්තුවක්, ශක්තිමත් ඇදහිල්ලක් සහ අසීමිත ආසිරි ගෙන එත්වා!




