
ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් කාලය අවසන් වීමෙන් පසු මෙරටට ආනයනය කළ ලුණු අඩංගු බහාලුම් දහසකට වැඩි සංඛ්‍යාවක් මාස 06කට අධික කාලයක් වරායේ ගුදම්වල සිරව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඊට අමතරව තවත් ලුණු අඩංගු බහාලුම් 700කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර සහ ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනයේ අනුමැතිය ප්‍රමාදව රේගුවේ ස්ථාන කිහිපයක සිරව ඇති බව ද සඳහන් වේ.
පසුගිය වසරේ මෙරට පැවති ලුණු හිගයට විසදුම් ලෙස රජය විසින් ලුණු ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබා දීමට කටයුතු කෙරිණි.
ඊට අදාළ ගැසට් නිවේදනයක් රජය නිකුත් කළ අතර එහි දැක්වුණේ පසුගිය ජුනි 10වනදාට පෙර ඒවා මෙරටට ආනයනය කළ යුතු බවය.
කෙසේවෙතත් අදාළ කාලය අවසන් වීමෙන් පසු ආනයකරුවන් විසින් මෙරටට ලුණු ගෙන්වා ඇති අතර මේ වන විට වරායේ රදවා ඇත්තේ එලෙස ගෙන ආ ලුණු බව සඳහන් වේ.
අදාළ බහලුම් සිරවීම සම්බන්ධයෙන් අද දෙරණ රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් විමසීමක් සිදු කළේය.
එහිදී ඔහු සදහන් කළේ ලුණු ආනයනය සදහා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන බවත්, මේ වන විට අදාළ ලුණු අඩංගු බහාලුම් ප්‍රතිඅපනය කිරීම සඳහා ආනයනකරුවන් දැනුම් දී ඇති නමුත් ඔවුන් ඒ සඳහා කටයුතු නොකරන බවත් ය.
කෙසේවෙතත් ලුණු ආනයනය කළ එක් සමාගමක් විසින් අධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකර ඇති බව වාර්තා වේ.
මේ අතර වරායේ සිරව ඇති අදාළ බහාලුම් සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපති සිරිමෙවන් රණසිංහ මහතාගෙන් ද විමසීමක් කළා.
එහිදී ඔහු සදහන් කළේ අදාළ ගැටලුව විසදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුකරමින් පවතින බවය.
මේ අතර වරායේ ආනයන හා අපනයන සහ ප්‍රතිඅපනයන බහාලුම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් එම මෙහෙයුම් සේවා සහ නිෂ්කාශනය කටයුතුවල තදබදය අවම කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
පසුගිය දා පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා නිලධාරීන්ට අදාළ උපදෙස් ලබා දී ඇති අතර වරාය අධිකාරිය විසින් ස්ථාපිත කරන ලද බ්ලූමැන්ඩල් අංගනයට අඩු අවදානම් බහාලුම් යොමුකර රේගු දෙපාර්තමේන්තුවේ පුර්ණ අධීක්ෂණය යටතේ නිෂ්කාශන කටයුතු වේගවත් කිරීමට ද එහිදී තීරණය කර ඇත.




