
2013 වසරෙන් පසු විධිමත් ලෙස ක්‍රියාත්මක නොවූ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය, එළඹෙන 2026 පෙබරවාරි මුල් සතියේ සිට යළි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2013 වසරෙන් පසුව වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් නිසි ක්‍රියාපටිපාටියකට අනුව සිදු නොවූ බවත්, මේ හේතුවෙන් ග්‍රාමීය රෝහල්වල දැඩි වෛද්‍ය හිඟයක් නිර්මාණය වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පිළිගත්තේය.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා පෙන්වා දුන්නේ, මේ වන විට ග්‍රාමීය රෝහල් සඳහා වෛද්‍යවරුන් අනුයුක්ත කරනුයේ වාර්ෂික ස්ථානමාරු යටතේ නොව පුරප්පාඩු පිරවීමේ පදනම මත පමණක් බවයි.
“මෙලෙස ආදේශකයින් ලෙස පැමිණෙන වෛද්‍යවරුන් රෝහලක රැඳී සිටින්නේ වසරක පමණ කෙටි කාලයක් පමණයි. නමුත් වාර්ෂික ස්ථානමාරු ක්‍රමය යටතේ වෛද්‍යවරයකු අනුයුක්ත කළ විට අවම වශයෙන් වසර පහක කාලයක් එම රෝහලේ සේවය කිරීමට ඔවුන් බැඳී සිටිනවා. ග්‍රාමීය රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමට නම් මෙම ක්‍රමය අත්‍යවශ්‍යයි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රමාද වී ඇති සියලුම ස්ථානමාරු ද ඇතුළත් වන පරිදි 2026 පෙබරවාරි මස සිට නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා ග්‍රාමීය රෝහල්වල පවතින වෛද්‍ය හිඟයට තිරසාර විසඳුමක් ලැබෙනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.




