
එදා අපි මේ රටට හිතකර වැඩපිළිවෙළක් කරන කොට ඒකට විරුද්ධ වුණු අය අද එම ප්‍රතිපත්තිම අනුගමනය කරනවා. විධායක ජනාධිපති ක්‍රමය, අධ්‍යාපන ධවල පත්‍රිකාව, නිදහස් වෙළෙඳ කලාප, ඇඟලුම් කර්මාන්ත ඉන් කිහිපයක්. ඒකට තමා අර කතාවක් තියෙන්නේ මගේ කලිසම් ඇඳගෙන උගේ වගේ යනවා කියන්නේ. දැන් ඉතින් මේ අයත් ඇඳගෙන යන්නේ අපේ කලිසම් කියන කතාව ගැළපෙනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කර සිටියේ (25දා) කෑගල්ල ආසනයේ කොට්ඨාස සභා නියෝජිතයෝ ඇතුළු පක්ෂයේ තනතුරු සඳහා අදාළ පත්වීමේ ලිපි ප්රදානය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයට සහභාගි වෙමිනි. උත්සවය කෑගල්ල හේෂාණි හෝටලයේදී පැවැත්විණි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා
විධායක ජනාධිපති ක්‍රමය, වරින් වර බලයට පත්වුණු නායකයෝ විවේචනය කළා. නමුත් ඒ අය ඉන් ප්‍රයෝජන ගත්තා. අනුර කුමාර දිසානායක මහත්තයාත් ඒ ක්‍රමය බුක්ති විඳිනවා. ජේ.ආර්. ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ මහත්වරු එදා අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනඑන කොට ඒක පුච්චපු අය අවුරුදු හතළිස් ගානකට පස්සේ ඒකම ගේනවා. ‘ඇඟලුම් කර්මාන්ත’ රණසිංහ ප්‍රේමදාස මහත්තයා ආරම්භ කරන කොට සුද්දන්ට ජංගි මහන්න කියලා අපහාස කළ අය එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා. නිදහස් වෙළෙඳ කලාප ක්‍රමයත් ඒ වගේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා රූපවාහිනිය මෙරටට හඳුන්වා දෙනකොට සංස්කෘතිය විනාශ වෙනවා කියලා කෑගහපු අය රූපවාහිනියේ අද වැඩිපුරම දකිනවා.
1988, 89 කැරැල්ලේ වැඩිම මර්දනය අපේ කඳවුරේ අය. ගෙවල්වලට ඇවිල්ලා මිනිස්සු අපේ නායකයෝ, සාමාජිකයෝ, ගම් නායකයෝ මැරුවා. පළමුවෙන්ම ඡන්ද දායකයාගේ අත කපනවා කීවා. නමුත් අපේ මිනිස්සු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගිහිල්ලා ඡන්දය පාවිච්චි කළා.
සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායකයා වූ දවසේ ඉඳලා එතුමා විවේචනයට ලක් කරනවා. ඒ සජිත්ට තියෙන බය නිසා. එතුමා ඒවායෙන් සැලුනේ නෑ. එතුමා කියන දේවල් එදා විවේචනය කළාට අද හරි ගිහින් තියෙනවා. දුර දිග බලලා එතුමා කටයුතු කරන්නේ. එතුමා ශක්තිමත් කිරීම අපේ වගකීමක්. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයත් සමග එකතු වීම පිළිබඳව සාකච්ඡාවන් තිබුණා. ඒවා සාර්ථකයි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත් පෙරේරා මහතා
කෑගල්ල ආසනය වාමාංශික ආසනයක්. එය ජයග්‍රහණය කිරීම ලොකු අභියෝගයක්. 1977න් පසුව අපේ පාක්ෂිකයන් විවිධ පීඩාවන්ට පත්වුණා. දිගින් දිගටම කෑගල්ලේ මෙන්ම රටෙත් පරාජය වුණා. එම නිසා දීර්ඝ වැඩපිළිවෙළකට යා යුතුයි. දේශපාලන නායකත්වය පිළිබඳව අවිනිශ්චිත භාවයක් තියාගන්න එපා.
කෑගල්ල ආසනයේ නව සංවිධායක ප්‍රියංකර සේනානායක මහතා
මගේ මූලික අපේක්ෂාව පසුබෑමකට ලක්වෙලා තියෙන අපේ ඡන්ද ප්‍රතිශතය ඉහළ නැංවීම. මෙම ගමනේ දී අපි සමග ඉඳලා වෙන්වෙලා ගිය අය සියලුදෙනාවත් එකතු කරගන්නවා. එහෙම එකතු කරගන්නා විට කවුරුත් විරුද්ධ වෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. මගේ සහයෝගය අවශ්‍ය සැමට ලබාදීමට මම සූදානම් යැයි පැවසීය.
මෙහිදී කෑගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හා මහනගර සභා බල ප්‍රදේශයේ කොට්ඨාසවල සංවිධායක තනතුරු හා වෙනත් තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානයක් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට හොරණ ආසනයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ, බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි වරුණ රාජපක්ෂ යන මහත්වරු ඇතුළු කෑගල්ල මහ නගර සභාවේ හා කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු ද පක්ෂයේ නව තනතුරු ලබාගත් අය ද ක්‍රියාකාරීහුද සහභාගිවී සිටියහ.




